For my Sri Lankan Readers, you can now read the chapters of 'Chasing a Boomerang' as I translate and leave a review.
Follow me on Facebook https://www.facebook.com/profile.php?id=61590433675955
තුන්වෙනි පරිච්ඡේදය: අනපේක්ෂිත ආරම්භයක් -2
ගෙදර ඉන්න සගයන්ගේ නින්ද නින්දට බාධාවක් වෙයි කියලා බයෙන්, මම සද්ද කරන්නේ නැතුව තේ ටිකක් හදාගන්න කුස්සියට ගියා. ඊළඟ දවසේ භාරදෙන්න තිබුණු පැවරුම සම්පූර්ණ කරන්න මට ඉතිරිව තිබුණේ පැය කිහිපයක් විතරයි. ඔස්ට්‍රේලියාවට ආපු දවසේ ඉඳන්, රෑට ඇහැරගෙන ඉන්න තේ කෝප්ප කිහිපයක් බොන එක මගේ පුරුද්දක් වෙලා තිබුණා. විශ්ව විද්‍යාලේ උගන්වන පාඩම් තේරුම් ගන්න මම ගොඩක් අමාරුවෙන් පොරබදමින් හිටියේ. ලංකාවෙන් පිටවෙද්දී, ඒ වෙනකොට කරලා තිබ්බ හැම විභාගයක්ම ඉහළ ලකුණු වලින් සමත් වෙලා තිබුණ නිසා, මම ඉංග්‍රීසි භාෂාවට දක්ෂයි කියලා හිතාගෙන හිටියත්, සිඞ්නි වලදි මට හිතුණේ මම මොනවද දන්නෙ කියලා. මෙහිදී මට මුහුණ දෙන්න වෙයි කියලා හිතපු අභියෝග හැම එකක්ම අතරින්, ලොකුම අභියෝගය වුණේ, මෙහෙ ඉන්න මව් භාෂිකයන් කියන දේ තේරුම් ගන්න එක කියලා කවුද හිතුවේ. ගොඩක් දෙනා ඉංග්‍රීසි නොවන වෙනත් භාෂාවක් කතා කරනවා වගේ දැනුනෙ. ප්‍රහේලිකාවක් විසඳනවා වගේ, විවිධ උච්චාරණ වලින් කතා කරන දේශකයන් කියන දේ තේරුම් ගන්න මම උත්සාහ කරේ හරියට බොරැල්ල පාරේ අධිවේගී බස් රථයක යන අය අතරේ, සෙමින් ඇවිදගෙන යන කැස්බෑවෙක් වගේ.
ගෙවිලා ගිය දවස් ඉතාම වෙහෙසකර වුණත්, පහු බහින්න බෑ කියන එක මගේ හිතට කා වැදිලා තිබ්බේ. ආත්තම්මා කියපු “සුමනා”ගේ කතාව මගේ උදාන ගාථාව වුණා. “සුමනාට පුළුවන් නම්, මටත් පුළුවන්,” කියන එක මම දවස පුරාව මතුරැවුවේ මගේ ජීවිතයේ ඒ මත රඳා පවතිනවා වගේ. සමහර විට ඒක එහෙම්ම වෙන්නත් ඇති.
ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස හතරකටත් ආසන්න වෙලා තිබුණත්, මට එක යාලුවෙක්වත් හිටියේ නැහැ. ඒකට හේතුව විදිහට මම දැක්කේ, මම කරමින් හිටපු උපාධි පාඨමාලාවේ හැම දේශනයකටම එකම සිසු කණ්ඩායම නොඑන එක. මම බලාපොරොත්තු වුණේ විශ්ව විද්‍යාල ජීවිතයත් මගේ පාසල් ජීවිතේ වගේ වෙයි කියලා — හැමෝම එකම විෂය මාලාව එකට ඉගෙන ගන්න ගමන් එකම දේශනමාලාවට සහභාගී වෙයි කියලා. හැමදේම වුනේ මං හිතුවට වඩා වෙනස් විදිහට.හැම දේශනයකම හිටියේ අලුත් කණ්ඩායමක්. මං ගිය විශ්ව විද්‍යාලය විදේශ සිසුන්ගෙන් පිරුණු එකක්, වැඩිපුරම හිටියෙ චීන සහ කොරියානු සිසුන්. ආසියානුවන් තම තමන් අතරට ගොනුවෙලා තමන්ගේ මව් භාෂාවෙන් කතා කරා. ඔස්ට්‍රේලියානුවන් නම් දේශන ඉවර වුණාම පේන්නවත් නැතිව යන්නේ ඔවුන් තමන්ගේ අර්ධකාලීන රැකියා වලට ඉක්මනින් යන නිසා.
මුලදී නම්, ඔස්ට්‍රේලියානුවන් පෙනුනේ හිතවත් සැහැල්ලුවෙන් ජීවත් වෙන අය වගේ. ඔවුන් මගදී හමුවෙන ඕනෑම අයෙකුට ඉක්මනින් සුහදව ආචාර කළා. වේගයෙන් කතා කරමින්, ඕස්ට්‍රේලියානු ස්ලැන්ග් වචන ගොඩක් භාවිත කළා. ඒත් ඒ මිත්‍රශීලී බව යටින්, ඔවුන් තමන්ගේ වැඩ තමන් බලාගෙන පාඩුවේ හිටපු අය. මම අතහැරලා ආපු, ඕපාදූප වලට ලැදි සංස්කෘතිය මට ටිකෙන් ටික මග ඇරිලා ගියා. විනීතා ඇරෙන කොට, මගේ වයස, විවාහක තත්ත්වය, ආගම වගේ දේවල් අහපු කෙනෙක් මට හම්බවුණේ සුළු සෙම්ප්‍රතිශ්‍යාවකට වෛද්‍යවරයෙකු හමුවෙන්න ගිය එකම වෙලාවේ, ඒකත් ඕනෙ වුනේ නිල ලේඛන පුරවන්න විතරයි.
ඒ වගේම, මගේ පාඨමාලා ගාස්තු ගෙවන්න අර්ධකාලීන රැකියාවක් කිරීමට සිදුවීම නිසා මට විශ්වවිද්‍යාලයේ වැඩිපුර රැඳී ඉන්න වෙලාවක් තිබුනෙත් නැහැ. දේශන ඉවර වුණ ගමන්ම මගේ වැඩ මුරය පටන් ගන්න ඉක්මනින් පිටවෙලා යනවා. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති, විශ්වවිද්‍යාලය එක්ක කිසිම බැඳීමක් මට නොදැනුනෙත්, පන්තියකටම ගිය හැම වෙලේම අනවසරයෙන් ඇතුල් වුණ කෙනෙක් වගේ ආගන්තුක බවක් දැනුනෙත්. අනෙක් අතට, මම වැටිලා හිටපු තත්ත්වය නිසා කැම්පස් එකේ නිදහසේ හැසිරෙන්නවත්, එහි තිබුණු අසංඛ්‍ය ආකර්ෂණීය දේවල් සොයා බලන්නවත් මට කාලයක් තිබුණේ නැහැ. ඒ වෙනකොටත් මම විෂයයන් දෙකක්ම අසමත්. ඒවා නැවත කරන්න, පාඨමාලා ගාස්තු ගෙවන්න තවත් මුදල් උපයන්න ඕනේ.
ඒත් ඇත්තටම ඒ හැම දේකටම වඩා බලපෑවේ, මම ස්වභාවයෙන්ම ලැජ්ජාශීලී කෙනෙක් වීම. අවුරුදු දහතුනක් එකම පාසලේ ඉගෙනගෙන තිබුණත්, ලංකාවේ උසස් පාසල් අධ්‍යාපනය ඉවර කරනකොට මට හිටියේ ඉතාමත් සමීප යාළුවෝ කිහිප දෙනෙක් විතරයි. ඒත් තාත්තගෙම හදිසි වියෝයෙන් පස්සේ අපි ගෙවල් දාලා ආවහම, ඒ යාළුවෝ දෙන්නා සමඟ තිබුණු සම්බන්ධයත් නැතිවුණා.
යාළුවෝ නැතිවීම ගැන මම ඒ වගේ හේතු කියාගෙන හිටියත්, ඇත්තටම මට යාළුවෝ හදාගන්න බැරි වුණේ මට අඩු ආත්ම විශ්වාසයක් තිබුණු නිසා කියලා මම දැනගෙන හිටියා. නාඳුනන කෙනෙක් එක්ක කතාබහක් පටන් ගන්න තරම් මම නිර්භීත උනේ නැහැ. ඒ නිසා මම මාවම තනි කරගෙන හිටියා. අවශ්‍ය වුණොත් විතරයි කතා කළේ. ආසියානු උපමහාද්වීපයෙන් ආපු සිසුන් ඕනේ තරම් විශ්ව විද්‍යාල ඇතුලේ හිටියත්,ඔවුන් එක්ක සම්බන්ධයක් හදාගන්න මම උත්සාහ කළේ නැහැ. පියල් මාමා මාව තාත්තාගෙන් ඈත් කරන්න හදලා දීපු අලුත් අනන්‍යතාවය තිබුණත්, ඔවුන් මගේ ඇත්ත අනන්‍යතාවය හොයාගනීවි කියලා මම බය වුණා. ඒ නිසාම “සුමනා” මන්ත්‍රය කියන වෙලාවට ඇරෙන්න, මට මගේම කටහඬවත් නොඇසී ගෙවුණු දවස් තිබුණා.
ඒත් මේ ගෙදර බෝඩ් වෙන්න ආවට පස්සේ දේවල් වෙනස් වුණා. නතාෂා නම් ගොඩක් කතාබහ කරන කෙනෙක්. ආත්තම්මාට ඇයව හම්බවුණා නම්, නිසැකවම ‘ගිරවියක්’ කියලා කියනවා. උදේ මාව දැක්ක හැම වෙලාවකම, නැත්නම් මම ආපහු එනකොට ඇය ඇහැරලා හිටියා නම්, ඇය කතාවක් පටන් ගන්නවා. මැතිව්ත් හොඳ කතාකාරයෙක්, එයා වැඩකරන තැන්වල සිදුවුණු විහිළුකාර සිදුවීම් හවසට අපිත් එක්ක කියන්නේ රස කර කර. එයාලත් එක්ක ඉන්න පටන් ගත්තට පස්සේ, ඔස්ට්‍රේලියාවේ ගෙවුණු මාස හතරට වඩා, ඒ සති දෙක තුළ මම වැඩියෙන් කතා කළා.
ශාරීරික වෙහෙසත්, මානසික අඳුරු බවත් තිබුණත්, මේ ගෙදරදී මට නිදහසක් සහ සැනසීමක් දැනුණා. මාස හතරකට පස්සේ, පළමු වතාවට මගේ හිතට පොඩි සැහැල්ලුවක් දැනුනේ හරියට අලුතෙන් හුස්ම ගන්නවා වගේ. ඒ නිසා ගෙදර සගයන්ට මට ගෙදරින් යන්න කියන්න හේතුවක් දෙන්න මට ඕනේ වුණේ නැහැ. එයාලා රෑට නිදාගෙන ඉන්න වෙලාවට මුළුතැන්ගේ පාවිච්චි කරනකොට, එයාලට බාධාවක් නොවෙන විදිහට හරිම පරෙස්සමෙන් හැසිරෙන්න මම සැලකිලිමත් වුණා.
“ඔයා මොකද තාම හැරලා?”
ජෙසන්ගේ ගැඹුරු හඬ කුස්සියේ තිබුණු නිශ්ශබ්දතාවය බිඳමින් මාව තිගැසුවා. ඔහු දිහා හැරී බලන්න මට මඳ පැකිළීමක් තිබුණත්, ඔහු කොට කලිසමක් සහ පාට දියවුනු ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවහම දැනුණු සහනකාරී බව තේරුම් ගත්තා වගේ ජෙසන් හිනා වුණා.
“ඔයාගේ මොකක්දෝ වෙනසක් පේනවා,” ජේසන් මගේ පිළිතුරක් එනකල් නොසිටම කිව්වහම මම දැක්කා එයා හොදට මගේ දිහා බලාගෙන ඉන්නවා.
කලින් එයාව හම්බවුණු වෙලාවේ, මගේ ඇඳුම්වල කිසිම ලාලිත්‍ය බවක් තිබුණේ නැහැ. නිරෝෂා නැන්දා එක්ක සති ගණනාවක් තිස්සේ සාප්පු ගිහින් ගත්ත ඇඳුම් පිරුණු බෑගයක් එක්ක මම සිඩ්නි ආවත්, ඒවා සිඩ්නිවලදි අඳින්න ගැළපුණේ නැහැ. මම ගෙනා ඇඳුම් පරණ විලාසිතාවන් — සිසිල වැඩිවෙමින් තිබුණු කාලගුණයට නොගැළපෙන, තුනී රෙදිවලින් හදපු ඒවා. ඒ නිසා විශ්වවිද්‍යාලයට යනකොටත්, වැඩට යනකොටත් කලිසම් සහ කමිස අඳින එක ලේසි උනා. කලක් ලස්සනයි, විලාසිතාමය කියලා හිතපු ඇඳුම් අත්හැරලා දැම්මා. ඉස්සර පිට දිගේ තිරයක් වගේ වැක්කෙරෙන්න දාල තිබ්බ කොණ්ඩය බෙල්ල පිටුපසට ගොනුකරලා බැඳලා දැම්මා.
මම හිටියේ දිග ගොතපු ගවුමක් ඇඳගෙන, දණහිස දක්වා දිග කොණ්ඩය උරහිස උඩින් නිදහසේ වැටෙන්න ඉඩ දීලා. සමහරවිට මම මේ විදියට දකින්න ජේසන් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.
එයාට පිළිතුරක් දෙන්න උත්සාහ නොකර, මම ආයෙත් මගේ වැඩේට හැරුණා.
‘මොනවද හදන්නේ?’ ජේසන් මගේ ළඟට ඇවිත්, මම හදමින් හිටපු තේ භාජනය දිහා බලමින් ඇහුවා.
‘තේ,’ මම ඔහු දිහා නොබලාම උත්තර දුන්නා. එයාගේ සමීප බව මාව නොසන්සුන් කරා.
‘ඔයාටත් තේ එකක් ඕනෙද?’
මේ තරම් පොඩි ඉඩක් එයත් එක්ක බෙදාගන්න වෙලා තිබුණු අපහසුතාවය මොන විදිහට හසුරවන්නද කියලා හිතාගන්න බැරි නිසා, මම ඇහුවේ එයා තේ බොන්න කැමති නැතුව ඇති කියලා. මම දැකලා තිබුණු බොහෝ ඕස්ට්‍රේලියානුවන් වගේ එයත් කෝපි බොන කෙනෙක් කියලා මම හිතුවා.
‘ඇයි නැත්තේ? තේ එකක් බොමු,’ ජේසන් මගේ ආරාධනාව පිළිගත්තා.
එයා කෑම මේසෙ තිබ්බපුටුවක් ඇදගෙන වාඩි උනේ, කුස්සියට ආව හේතුව ගැන තවදුරටත් උනන්දුවක් තිබුණේ නැහැ වගේ. ඒ වෙනුවට තේ කෝප්පයක් ලැබෙනකල් සතුටින් ඉන්න සූදානම් බවක් පෙනුණා.
මම ඉක්මනින්ම එයාට තේ කෝප්පයක් හදලා දුන්නා.
“ටා,” කියමින් එයා තේ කෝප්පය අත් දෙකෙන්ම අල්ලාගෙන ලොකු උගුරක් බිව්වා. උණු තේවලින් එයාගේ දිව පිළිස්සුණත්, එයා ඒක පෙන්නුවේ නැහැ. ඒ වෙනුවට, පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා.
“අයෙත් අහලා! මේක නම් නියමයි!”
ජේසන්ගේ ඒ ප්‍රතිචාරය මගේ මුහුණට සිනහවක් ගෙනාවා. ඒ මම කාටහරි තේ කෝප්පයක් හදලා දුන්න පළමු වතාව. අපේ ගෙදර තේ හදන්න, කෑම උයන්න, සේවිකාවෝ හිටියා. ඔවුන් නැති වෙලාවට, ඒ වැඩේ සතුටින්ම භාරගත්තේ ආත්තම්මා. මට ගෙදර කිසිම වැඩක් කරන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ ගැන මම පැමිණිලි කළේත් නැහැ. කවුරුහරි මම කරපු දෙයක් අගය කරනවා ඇහෙන එක මට අමුතු දෙයක්. ඒක මට මගේ හිතට සතුටක් ගෙනාවා. සමහරවිට මම ඒකට ලැබිය යුතු වටිනාකමට වඩා වැඩි අර්ථයක් දුන්නා වෙන්න ඇති — මොකද, පසුගිය කාලේ මගේ ජීවිතේ හොඳ දෙයක් කියලා කියන්න දෙයක් තිබුණේ නැති තරම්.
ඒ අමුතු උණුසුම හදවත පුරා පැතිරෙද්දී, මම පළමු වතාවට ජේසන් දිහා කෙළින් බැලුවා. එයා කඩවසම් කියලනම් මට හිතුණේ නැහැ. ඒත්, කෙනෙක්ගේ අවධානය ඇදගත්ත විශේෂ බවක් ඔහු තුළ තිබුණා. පළල් නළලකුත්, හීනි නිකටකුත් තිබුණු ජේසන්ගේ මුහුණ සරුංගලයක හැඩය ගත්තා. ඔහුගේ දිගැටි මුහුණ, කොණ්ඩය කොටට කපලා, රැවුල කපාගෙන හිටියා නම් තවත් හොඳට පෙනෙන්න තිබුණා. ඒ කැත කැළලත් මුහුණෙන් අයින් කළා නම් ඊටත් වඩා හොඳයි. ජේසන්ට තිබුණේ ගැඹුරු, විමසිලිමත් කොළ-දුඹුරු පාට ඇස්. ඔහුගේ උසස්ත්, කෙට්ටු දිගු අත්පාත් නිසා, බාස්කට්බෝල් හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හරි කියලා ලේසියෙන්ම හිතන්න පුළුවන්. ඒත් ඊටත් වඩා, කලින් දැක්ක ඔහුගේ සික්ස් පැක්ස් වලින් හැඩවුණු සමතලා උදරය මතක් වෙද්දී නම් එයාට ලෙහෙසියෙන්ම යට ඇඳුම් ප්රචාරක දැන්වීම්වලට ගැළපෙන මොඩල් කෙනෙක් වෙන්නත් තිබුණා.
ජේසන්ගේ ඇස් මගෙත් ගැටුණහම, මගේ ඇඟ පුරා පැතිරුණු අමුතු තීව්ර හැඟීමට බයෙන්, මම ඉක්මණින් අහක බලා ගත්තා.
මම තේ පෝච්චියයි, කෝප්පයයි අරගෙන කුස්සියෙන් යන්න හැරෙද්දී, ජේසන්ගේ ගැඹුරු හඬ මාව නතර කළා.
“ඔයා දාගෙන ඉන්න පර්ෆියුම් එක මොකක්ද?”
එයා අහන්නේ මොකක් ගැනද කියල තේරුම් ගන්න මට තත්පර කීපයක් ගියා.
“ඖඩි කොලෝන්,” මම උරහිස උඩින් කියාගෙන ගියේ නාගෙන ආවට පස්සේ බෙල්ල වටේ හොඳට කොලෝන් දාගත්ත බව මට මතක් වෙලා. එයාගේ ඇස් ටිකක් හීනි වෙලා, නළලේ රැලි වැටුණේ හරියට එයා දන්න සුවඳ විලවුන් අතරේ ඒක හඳුනාගන්න උත්සාහ කරනවා වගේ. එයාගේ ඒ උනන්දුවට, හිත ඇතුලෙන් මම හීනියට හිනා ගියා.
‘ඔයාව අඳුරගන්න ලැබුණු එක හොඳයි, ජේසන්. සුභ රාත්‍රියක්,’ මම ආචාරශීලීව කියලා, ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම මගේ කාමරයට ගියා. කලින් නතාෂා අපිව හඳුන්වා දුන්න වෙලාවේ වගේ, ජේසන් ආයෙත් සමච්චලයට හිනාවෙනවා දකින්න මට ඕනේ වුණේ නැහැ.
තුන්වෙනි පරිච්ඡේදය: අනපේක්ෂිත ආරම්භයක් -1
මගේ අලුත් නවාතැනට එනකොට රෑ දොළහට ආසන්නයි. මම දැන් නැවතිලා ඉන්න ගෙදර තව තුන් දෙනෙක් ඉන්නවා. පිරිමි දෙන්නෙක් සහ ගෑණු ළමයෙක්. මට මේ වෙනකොට හම්බවෙච්ච දෙන්නා, එක්කො මගෙ වයසේ එහෙම නැත්නම් මට වඩා බාලයි.මෙහේ අය පෞද්ගලික ප්‍රශ්න අහනවාට අකමැති නිසා මම එයාලගෙන් වයස අහන්න ගියේ නැහැ. තුන්වෙනි කෙනා තමයි මේ ගෙදර අයිතිකාරයා වගේ ඉන්නේ. මට තාම එයාව හමුවෙලා නැහැ. මම සති දෙකකට කලින් මේ ගෙදරට එනකොටත් එයා ව්‍යාපාරික ගමනක් ගිහින් හිටියේ.
නාදුනන මිනිස්සුත් එක්ක ජීවත් වෙන එක මට තාම අලුත්. මම තාම මේ තැනටත්, මගේ නිවාස සගයන් එක්ක ගත කරන මෙ ජීවිතෙටත් පුරුදු වෙනවා. ඒ නිසාම වෙන්න ඇති මම ගෙදරට ඇතුල් වෙනකොටම රෙදි හෝදන කාමරයේ හිටපු නිරුවත් පිරිමි මනුස්සයා දැකලා මට කෑගැස්සුනේ.
අද හරිම මහන්සි දවසක්. විශ්ව විද්‍යාලෙ දේශන ඉවර කරලා, ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් එකේ තව පැය හයක වැඩ මුරයකට පස්සේ මම හිටියේ අධික තෙහෙට්ටුවෙන් සහ නිදිමතෙන්. මම දකින්නේ ඇත්තක්ද මායාවක්ද කියලා හිතාගන්න බැරුව මම තදින් අස්පිල්ලන් ගැහුවා.
උස පිරිමියෙක් මම වගේම පුදුමයෙන් මගේ දිහා බලාගෙන හිටියා. ඔහුට රන්වන් පාට දිග කොන්ඩෙකුත්, රැවුලකුත් තිබුණා. දකුණු ඇහි බැම්මේ ඉඳන් වම් කම්මුල දක්වා මූණ හරහා දිව්ව කෝපාකාරී කැළල හරියට බාර් එකේ රණ්ඩුවක සිහිවටනයක් වගේ. ඒ මනුස්සයාට තමන්ගේ නිරුවත වහගන්න කිසිම උවමනාවක් තිබ්බේ නැති නිසා මම ඉක්මනට අහක බලාගෙන ගොළු වෙලා තිබ්බ මගේ කටහඬ හොයාගන්න උත්සාහ කරා.
‘මේ මිනිහා පාරේ ජීවත් වෙන කෙනෙක්ද? අඳින්න දෙයක් හොයන්න ගෙදරට පැනලද?’ මම නැවත වරක් ඔහු දෙස ඉක්මනින් බලමින් කල්පනා කරා.
ඔහුගේ ඇඟ කෙට්ටු උනාට අඩු පෝෂිත බවක් පෙනුනේ නැහැ. ඒ වගේම පාරේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ළඟ දැවටෙන කිළුටු ගඳ තිබ්බෙත් නැහැ. ඒ ගඳට මම හුරුයි. මම වැඩ කළ අවන්හල පිටිපස්සෙ ඉන්න ගෙයක් නැති මනුස්සයට, මගේ වැඩ මුරයෙන් පස්සේ ඉතිරි වෙන ආහාර දෙද්දී හැම වතාවකම මට ඒ පුසුබ දරාගන්න සිදු වුණා.
රෙදි සෝදන කාමරයේ සිටි මිනිසාට දිග කොණ්ඩයත් රැවුලත් නිසා නොසැලකිලිමත් පෙනුමක් තිබුණත්, සතියක් නෑවේ නැති කෙනෙකු වගේ නොපෙනුණා. ඇත්තටම, ඔහු ඒ වෙනකොටත් නාල හිටියේ. ඔහුගේ තෙත් කොණ්ඩයෙන් සහ රැවුලෙන් බේරුනු වතුර බින්දු ඔහුගේ සුදුමැලි සිරුර දිගේ පහළට වැටෙමින් තිබුණා.
“තමුසෙ කවුද?”
“ඔයා කවුද?”
අපි දෙන්නම ඇහුවෙ එකවර. ඔහුගේ උඩඟු කතා විලාසය මට අප්‍රසන්න වුණා.
“මොකද වුණේ?”
නතාෂාගේ කටහඬට අපි දෙන්නාම හරුනා. මගේ කෑගැසීම නිසා එයාගේ නින්ද කැඩිලා දුවගෙන ඇවිත් කියලා ඇගේ හඬේ තිබුණු කලබලයෙන් කියවුනා.
“අහ්, ඔයාද!”
නිරුවත් මිනිසා හඳුනාගත්ත නතාෂා, ඉක්මනට තමන් ඇඳගෙන හිටපු ටී-ෂර්ට් එක පහළට ඇදලා බඩ වැහෙන්න සකස් කරගත්තා.
“ඉසි, ගණන් ගන්න එපා, මේ ජෙසන්.”
එයා ‘බය වෙන්න එපා’ කියනවා වගේ බැල්මකින්, ඉක්මනට කාමරය හරහා ජෙසන් ළඟට ගියා. ඇගේ සිරුරෙන් ඔහුගේ නිරුවත වැසෙන විදිහට හිටගෙන, රෙදි සෝදන බාල්දියක තිබුණු තුවායක් අරගෙන ඔහු දිහාට හැරුණා.
“මේකෙන් වහගන්න, පිස්සෝ!” නතාෂා කේන්තියෙන් කීවා. “මේ ඉසි. අපේ අලුත් බෝඩිංකාරයා.”
මම ගල්ගැහිලා හිටියේ, සිද්ධිය තේරුම් ගන්න උත්සාහ කරමින්. ඒ මට තාම හමුවෙලා නොතිබුණු මේ ගෙදර ප්‍රධාන කුලීකරු.
“අයියෝ, අයියෝ සොරි මේට්. පළවෙනි හමුවීම හොඳ නෑ නේද?” ජෙසන් කීවේ තද ඕස්ට්‍රේලියානු උච්චාරණයකින්. ඔහුට කිසිම ලැජ්ජාවක් තිබුණු බවක් පෙනුණේ නැහැ. ඒ වෙනුවට, මගේ අපහසුතාවෙන් ඔහු විනෝද වෙනවා වගේ පෙනුණා.
මගේ කම්මුල් තාමත් රත් වෙලා තිබ්බ නිසා මම ඔහු දිහා බලන්න ගියේ නැහැ. නතාෂාගේ නින්ද කඩපු එක ගැන සමාව ඉල්ලන්න ඕන වුණත්, මම එහෙම කළේ නැහැ. ඒ වෙනුවට, ඉක්මන් “ගුඩ් නයිට්” කියලා මගේ කාමරය පැත්තට ගියා.
“හෙට උදේ හම්බවෙමු, නැට්,” යන ගමන් මම කිව්වා.
“දෙයියන්ගේ නාමෙන්, පොඩ්ඩක් සාමාන්‍ය විදිහට හැසිරෙන්න, ජෙ. බෝඩිංකාරයෝ යන යන ගානට මට අලුත් අය හොය හොයා ඉන්න බැහැ,” නතාෂා කිව්වේ, මට ඊට කලින් එයාගෙන් ඇහිලා නැති තියුණු ස්වරයකින්.
“හරි හරි, සොරි. නාන්න යද්දී තුවායක් ගෙනියන්න අමතක වුණා. මේ වෙලාවේ කවුරුත් ඇහැරලා ඉඳී කියලා මම හිතුවේ නෑ,” ජෙසන් එහෙම කියලා අනිත් පැත්තට ආයෙත් ඇහුවා, “ගොඩේ ඩයල් එකක්ද?”
“නෑ. එයා අලුතෙන් ආපු ශ්‍රී ලාංකිකයෙක්.”
කාමරේ දොර වහන්න කලින්, ජෙසන්ගේ ප්‍රශ්නයට උත්තර දෙන නතාෂා ගේ මහන්සි හඬ මට යන්තමින් ඇහුණා. ඔවුන් කතා කරපු දේවල් මට නොතේරුණු නිසා, ඒ කතාවට මම වැඩි අවධානයක් දුන්නේ නැහැ.
අන්තිමට මම මීගොඩලාගේ ගෙදරින් ඉවත් වෙලා සති කිහිපයකට කලින් මෙතන පදිංචියට ආවා. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් ජීවිත කාලයක්ම කැප කරල ඉතුරු කරගන්න තරමේ මුදලක් වගේ පෙනුණු ප්‍රමාණය, ඕස්ට්‍රේලියාවේ විදේශීය ශිෂ්‍යයෙක්ගේ මාස හයක ජීවන වියදම්වත් ආවරණය කරන්න ප්‍රමාණවත් නැති බව මට ඉක්මනට තේරුණා.
මගේ අතේ ඉතුරු වෙලා තිබුණු පොඩි මුදලෙන් වැඩි කාලයක් ගැටගහගෙන ජීවත් වෙන්න පුළුවන් එකම ක්‍රමය වියදමෙන් අඩු බෝඩිමකට මාරු වෙන එක කියලා තේරුන නිසා, මම සෑහෙන කාලෙක ඉඳන් නතර වෙන්න කාමරයක් හෙව්වා. මට හම්බවුණු සමහර තැන් පිටින් බලද්දී සාමාන්‍ය ගෙවල් වගේ පෙනුණත්, ඇතුළට ගියාම ඒවා ඕස්ට්‍රේලියානුවන් ආසාවෙන් බලන නිවාස ප්‍රතිසංස්කරණ වැඩසටහනක මූලාරම්භ දර්ශනයක් වගේ. සමහර කාමර කියන ඒවා අටවලා තිබ්බේ තිරයක් එල්ලලා හෝ කාඩ්බෝඩ්, ප්ලාස්ටර් බෝඩ් වගේ තාවකාලික පුවරු වලින්. සමහර තැන්වල වැසිකිළි දෙකයි නාන කාමරයයි දහදෙනෙක් පාවිච්චි කළා.
විශ්වවිද්‍යාලයට ළඟ තිබුණු බොහෝ තැන් බොහෝ තැන් ඒ වගේ. කිසිම පිළිවෙලක් නැති ඒවා ගෙවල්වලට වඩා සුඛෝපභෝගී පැල්පත් වගේ. හතරදෙනෙක්ට ගැළපෙන තැනක බෝඩිංකාරයෝ අටදෙනා, දහදෙනා පිරිලා. බඩ පෙරළෙන තරම් විවිධ ගඳවල්වලින් පිරුණු ඒ තැන්වල, රෑට නිදාගන්න ගන්න විතරක් පොඩි ඉඩක් තිබුණා.
නතාෂා දාලා තිබුණු දැන්වීම එක දැකලා මම ඇයට කතා කරද්දී, එයා කියපු දේවල් තේරුම් ගන්න මට හරි අමාරු වුණා. එයා අකුණු ගහනවා තරම් වේගයකින් ඕස්ට්‍රේලියානු ස්ලැන්ග් පාවිච්චි කරපු නිසා මට දැනුනේ එයා වෙනම භාෂාවක් කතා කරනවා වගේ.
“කරුණාකර ටිකක් හෙමින් කතා කරනවද? මම අලුතින්ම ඕස්ට්‍රේලියාවට ආවේ. ඔයා කියන දේ තේරුම් ගන්න ටිකක් අමාරුයි.”
මම ලැජ්ජාවෙන් එහෙම කිව්වම, නතාෂා හයියෙන් හිනා වෙලා, “අයියෝ ප්‍රශ්නයක් නෑ ඩාල්. සමහර වෙලාවට මටවත් මාව තේරුම් ගන්න අමාරුයි,” කියලා කිව්වා.
ඒකේ තේරුම හරියටම මට නොතේරුණත්,මම නතාෂාට කැමැති උනා. එයාගේ ප්‍රබෝධමත් කටහඬ ඇහෙද්දි මට එයත් එක්ක එකම ගෙදරක ජීවත් වෙන්න ආසා හිතුණා.
මම ගෙදර බලන්න ගියේ නම් ලොකු බලාපොරොත්තුවකින් නෙවෙයි. ඒ වෙනකොටත් කාමර කීපයක්ම බලලා තිබුන නිසා, මගේ උවමනාකම් අඩුකරගෙන මම හිටියේ. මට ඕන වුණේ විශ්වවිද්‍යාලයට ළඟ, පිරිසිදු කාමරයක් විතරයි. හැකි නම් ගෑණු ළමයි විතරක් ඉන්න ගෙදරක්. නැත්නම් අඩුම තරමේ තවත් එක ගෑණු ළමයෙක්වත් ඉන්න තැනක්.
මම කාමරය බලන්න ගියහම, දුරකථනයෙන් ඇහුණු විදිහටම, නතාෂා සතුටින් සහ උණුසුම්ව මාව පිළිගත්තා. එයා දිලිසෙන හිනාවකින් මට අතට අත දීලා, අපේ මුල් නම් හුවමාරු කරගත්තා. කෙටි හඳුන්වාදීමෙන් පස්සේ, ගෙදර සැලැස්මත්, කුලියට තිබුණු කාමරයත්, ඉවසීමෙන් පෙන්නුවා.
ඒ ගෙදරට ඇතුළු ඇතුළු වුනහම මට ඉස්සෙල්ලාම දැනුනු දේ තමා ප්‍රබෝධමත් බව. ඉස්සරහ තිබුණු ලොකු ජනේලයෙන් මුළු ගෙදරම එළිය වුණා. ඒක නිදන කාමර හතරක් තිබුණු ගෙයක්. කාමර තුනක් අතරේ වෙනම වැසිකිළියක් සහ නාන කාමරයක් හවුලේ පාවිච්චි කරගන්න තිබුණා. කුලියට තිබුණේ තමන්ගේම නාන කාමරයක් එකක් තිබුණු ප්‍රධාන නිදන කාමරය.
“කාමරේට ඇටෑච් බාත්රූම් එකක් තියෙන නිසා මාසික කුලිය ඩොලර් දහයකින් වැඩියි.” නතාෂා මගේ දිහා සැලකිල්ලෙන් බලන ගමන් කිව්වා.
ඇත්තටම මට ඕනේ වුණේ ඊට වඩා අඩු මිල කාමරයක්. ඒත් මීගොඩලාගේ ගෙදර ඉන්නවට වඩා මේ කාමරේ කුලියට ගත්තොත් මගේ වියදම අඩුවෙනවා. ගමන් වියදම්, විනීතා ණයට අරගෙන ආපහු නොදුන්න සල්ලි, විශ්වවිද්‍යාලයට යන්න එන්න ඉතිරි වෙන කාලය—මේ හැමදේම එකතු කරලා බැලුවම කාමරේ ගන්න එක බුද්ධිමත් තීරණයක් වුණා. ඒ වගේම, ගෙදර දුම්රිය ස්ථාන දෙකක් අතර තිබුණු නිසා පොදු ප්‍රවාහන විකල්ප ගොඩක් තිබුණා. විශ්වවිද්‍යාලයට බස් එකේ යන්න තිබුණේ පොඩි දුරක් විතරයි. ඒ නිසා වැඩිපුර පාර්ට් ටයිම් වැඩ කරලා තව සල්ලි හොයා ගන්නත් පුළුවන්.
“මට කුස්සිය පාවිච්චි කරන්න පුළුවන්ද?” මම ඇහුවා.
සිඞ්නි වල එලියෙන් ගන්න කෑම හරිම මිල අධිකයි. මට ඕන කරන කෑම ටික මමම උයගත්තොත්, පිටින් කනවට වඩා ලාභයි. ඒ වගේම මගේ ඉවුම් පිහුම් හැකියාවත් අත්හදා බලාගන්න පුළුවන්. ඇත්තටම නම් මට උයලා පුරුද්දක් තිබ්බේ නැහැ. තාත්තා මාව යවපු ඉවුම් පිහුම් පන්තියේ පුහුණු කරපු ටික විතරයි.
මීගොඩලාගේ ගෙදර ඉන්නකොට තිබ්බ හොඳම පහසුව තමයි, අමතර මුදලක් ගත්තත් ලාංකික කෑම කන්න ලැබිච්ච එක. පහුගිය මාස හතරේ මට තිබුණු එකම සැනසීම වුණේ එක. පිටින් කෑම කන එක ගැන මට තිබුණු ලොකුම බය, මට පුරුදු කෑම මඟහැරෙන එක විතරක් නෙවෙයි, දරාගන්න අමාරු වියදම.
“ඔව්, පුළුවන්. හැබැයි කරුණාකරලා සැර කුළුබඩු නම් පාවිච්චි කරන්න එපා. නැත්නම් ජෙ දවස් ගාණක් ඌරු මස් පෙත්තක් වගේ කෙඳිරි ගායි.”
මම මුළුතැන්ගේ මැද නතර වුණේ කලබලයෙන්. ජෙ කියන්නේ කවුද කියලවත්, ඌරු මස් පෙත්තක් වගේ කෙඳිරි ගායි කියපු එකෙන් ඇය අදහස් කළේ මොකද්ද කියලවත් මට තේරුණේ නැහැ. ඒ මනුස්සයා ඌරු මස් කෑම අනුමත නොකරන මුස්ලිම් ආගම අදහන කෙනෙක්ද? ඒ ප්රශ්නය අහන එක සුදුසුද කියලා මට විශ්වාසයක් තිබුණේ නැහැ. මේ වෙනකොට මට තේරිලා තිබුණ එක දෙයක් නම්, ඔස්ට්‍රේලියානුවෝ තමන්ගේ පුද්ගලික අවකාශය ගැනත්, පෞද්ගත්වය ගැනත් හරි සැලකිලිමත් කියන එක.
“මේ ගෙදර කුලී ගිවිසුම තියෙන්නේ ජෙසන්ගේ නමට. එයා තමයි අපිට කාමර කුලියට දෙන්නේ,” නතාෂා පැහැදිලි කළා.
“ඒකෙයි ඌරු මස් පෙත්තෙයි සම්බන්ධය මොකද්ද?” මම සැකයෙන් ඇහුවා.
නතාෂා මගේ දිහා බැලුවේ පුදුමයෙන්. ඊටපස්සේ ඇය ඉදිරියට නැවිලා තත්පර කිහිපයක්ම හයියෙන් හිනා වුණා.
“අනේ ඩාල්, ඔයාට ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියෙනවා.”
අන්තිමට ඇය කෙළින් හිටගත්තම, කාලෙක ඉඳන් දන්න කෙනෙක් වගේ ලබැඳි කමකින් මගේ උරහිසක් මිරිකුවා. මිනිත්තු දහයකට විතර කලින් හමුවුණු කෙනෙක්ගෙන් එහෙම හැසිරීමක් මම බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් ඒ නිසා මට අපහසුතාවයක් දැනුනෙත් නැහැ. ඇගේ හඬ විනෝදයෙන් පිරිලා. ඇස්වල තිබුණෙත් මිත්‍රශීලී බවක්.
“මම අදහස් කළේ, ජෙට සැර ගඳවල් දරාගන්න බැහැ කියන එක. එයා හරියට මත්ද්‍රව්‍ය නාශක ඉව අල්ලන බල්ලෙක් වගේ.”
මම ලැජ්ජාව හංගගෙන හිනා වෙලා හිස වැනුවා.
“අපි තුන්දෙනා මේ ගෙදර ඉන්නේ උසස් පෙළ ඉවර වුණ කාලේ ඉඳන්. ප්‍රධාන නිදන කාමරයේ ඉන්න ගොඩක් අය ආවා. ඒත් කවුරුත් වැඩි කාලයක් ඉන්න කැමති වුණේ නැහැ.”
මට එයා කියන දේ තේරුම් ගන්න බැරි වෙන තරම් වේගෙන් තමන් කතා කරන බව දැනුනහම නතාෂා ටිකක් හෙමින් කතා කරමින් ගෙදර දැන් තිබුණු එකඟතාවය පැහැදිලි කළා.
“සාමාන්‍යයෙන් අපි තුන්දෙනාම ඉරිදා ආවො ගෙදර ඉන්නවා.” මම අවුල් වෙලා බලනවා දැකලා ඇය හිනා වෙලා, “අහ්, මම කිව්වේ ඉරිදා හවසට,” කියලා කිව්වා.
මම හිස වැනුවා.
“ඉරිදාට නම් මේ ගෙදර පිස්සුකොටුවක් වගේ. වොෂින් මැෂින් එක පාවිච්චි කරන්න අපි තුන්දෙනාම පොරකනවා,” නතාෂා කිව්වේ ඇය විස්තර කරපු ඒ කලබලකාරී ගතියට හොඳටම හුරු වෙච්ච කෙනෙක් වගේ.
“ජෙ ගෙදර ඉන්න වෙලාවට නම් වැඩේ තවත් අමාරුයි. වැඩ නිසා එයා නිතර එහෙ මෙහෙ යනවා. එයා වැඩ කරන්නේ පුහුණු ආයතනයක උපදේශකයෙකු විදිහට. ආයතනය වෙනුවෙන් පුහුණු මොඩියුල මෙහෙයවන්න විවිධ ප්‍රදේශවලට යනවා. තව මාස කීපයකින් එයාගේ ගමන් බිමන්අඩුවෙයි කියලා එයා කිව්වා.”
නතාෂා එයාගේ උරහිස් උස්සලා කතා කළේ එයාට ඒ ගැන ඒ තරම් විශ්වාසයක් නැති විදිහට.
“කොහොමත් එයා සිඩ්නිවල වල ඉන්න වෙලාවට වැඩිපුරම ඉන්නේ random කෙල්ලෙක්ගේ ගෙදර.” ඇය ඇහැක් ගහලා හිනා වුණේ ජෙසන් ගේ හැසිරීම එයාට අමුත්තක් නොවුනු විදිහට.
“ආ, තව එකක්. මෙහේ හැබැයි පාටිස් දාන්න නම් බැහැ. හැබැයි ගිර්ල්ෆ්රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි රෑට ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි.”
නතාෂා කතාව නතර කළේ මගේ ලිංගික දිශානතිය අනුමාන කරන්න වගේ. මම තොල් හපුවේ උත්තරයක් දෙන්න යාම නතර කරගන්න. ඇත්තටම ඇයට බය වෙන්න දෙයක් තිබුණේ නැහැ. මට ලැජ්ජා හිතුණා එයාට කියන්න මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තියා යාළුවෙක්වත් හිටියේ නැහැ කියලා.
“හැබැයි හැම රෑම නම් බෑ. සතියකට දවස් එකක් දෙකක් නම් අවුලක් නෑ,” නතාෂා ආයෙත් ඇහැක් ගැහුවා. “ඒ වගේම කුඩු ගහන්න නම් කොහෙත්ම බෑ! අහ්, මම ඒක කලින් කිව්වනේ? ජෙට සැර ගඳවල් දරාගන්න බැහැ. ඒ නිසා උයනවා නම් exhaust fan එක දාලා, පස්සේ ඉටිපන්දමක් පත්තු කරන්න.”
නතාෂා මට උපදෙස් දුන්නේ මම අනිවාර්යයෙන්ම මේ ගෙදරට නවතින්න එන බව එයා දැනගෙන හිටියා වගේ. එයා වැරදි නැහැ. ඒ ගැන මට තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ඇටෑච්ඩ් බාත්රූම් එක තිබුණු ප්‍රධාන නිදන කාමරය කුලියට අරගෙන සතියකට පස්සේ මම පදිංචියට ආවා.
මම ආපු දවසේ නතාෂා සහ මැතිව් දෙන්නම මාව හොඳින් පිළිගත්තා. නතාෂා මම යන විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්තත්, එයා ගියේ වෙන කැම්පස් එකකට. එයා හැදෑරුවේ තාක්ෂණය සම්බන්ධ උපාධියක්. එයා හිටියේ අවසන් අර්ධ වාරයෙ. උපාධිය ඉවර වුණහම ගුරුවරියක් වෙන්න එයා බලාපොරොත්තු වුණා.
මැතිව් ඇප්රෙන්ටිස් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් TAFE එකේ විද්‍යුත් තාක්ෂණ පාඨමාලාවක් ඉවර කරමින් හිටියා. ඒ වගේම එයා ඉලෙක්ට්රිීෂියන් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න සතියකට දවසක් TAFE පන්ති වලට ගියා.
ජෙසන් නම් අනිත් දෙන්නට වඩා වයසින් වැඩි කෙනෙක් කියලා මට හිතුණේ පූර්ණ කාලීන රස්සාවක් කරන එකම කෙනා එයා විතරක් වුණ හින්දා. ඒ තුන්දෙනා ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්න හොඳ යාලුවෝ කියලා නතාෂා කිව්වා.
පිරිමි ආශ්‍රයට හුරු නැති නිසා, මේ ගෙදර ඉන්න එක මුලින් මම ටිකක් අසීරු වෙයි කියලා හිතුවත්, නතාෂා වගේම මැතිව්ත් හරිම මිත්‍රශීලී කෙනෙක් උන නිසා, එයත් එක්ක කතාබහ කරන එක කිසිම ආයාසයක් නැතිවම සිද්ධ උනා වුණා.
එ නිසා මං හිතුවේ ජෙසන් හමුවෙන එකත් සාමාන්‍ය දෙයක් වෙයි කියලා.
ඒත් පළවෙනි හමුවීමෙන්ම, මම නොහිතපු විදිහට මම එයාට අකමැති වුණා.
ජේසුන් තමයි මේ කුලී ගෙදර අයිතිකාරය වගේ ඉන්නෙ. මට මෙහ දිගටම ඉන්න ඕන නම්, මට අකමැත්තෙන් හරි එයත් එක්ක සමගියෙන් ඉන්න වෙනවා.
දෙවෙනි පරිච්ඡේදය — අමුතු නගරයක තනිවුණු හිත -2
මාස තුනක් ගිහිල්ලා තිබුනත් මගේ නොසන්සුන්කමේ නම් තාම අඩුවක් නැහැ. මීගොඩලාගේ ගෙදරට ළඟම train station එකට යන්න මම මුලින්ම bus එකට නැග්ග දවසෙත් මට දැනුනේ මේ වගේම මේ වගේම හැඟීමක්.
හැමදාම මධ්‍යම දුම්රිය ස්ථානයට යන පිරුණු train එකේ ගමන් කරද්දීත්, ඊට පස්සේ university එකට යන bus එකකට නගිද්දීත්, මගේ හදවත මගේ ඇඟෙන් පැනලා යන්න හදනවා වගේ ගැහෙන එක නතර වුණේ නැහැ.
පරිසරය පුරා තිබුණේ autumn සීතල වුණත්, මගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා. බය විවිධ ආකාරයට මගේ ඇතුළේ දුවද්දී, මට හිතුනේ අත්තම්මා නරක් වෙච්ච ලූනු පොතු එකින් එක ගලවමින් හොඳ කොටස ගන්නවා වගේ මේ බය එකින් එක ගලවලා දාන්න පුලුවන්නම් කියලා.
මා වෙත ආව අභියෝග එකින් එක මම ජයගත්තත්, මගේ හිතට වරින් වර දැනුණු චකිතය නතර වුණේ නැහැ
“සුමනාට පුළුවන් නම්, මටත් පුළුවන්,” ඒ වචන ටික මගේ ඔලුව ඇතුළේ නොනවතින loop එකක වගේ කැරකුණා.
හිතට දැනුණු නොසන්සුන් කම දෙවෙනි හමක් වගේ මාව වසාගෙන තිබුනත් මට පසු බහින්න පුළුවන්කමක් තිබ්බේ නෑ. තාත්තා මා ගැන තිබ්බ සිහිනය කොහොමහරි ඉෂ්ට කරන්න මට භාර වෙලා තිබ්බේ. තාත්තා නැති උනාට පස්සේ එයාට මං ගැන තිබුණු හැම බලාපොරොත්තුවක්ම මැජික් එකක් වගේ අත්තම්මට මාරුවෙලා තිබුනේ ඒවා ගැන කතා කරන්න මට කිසිම අයිතියක් ඉතුරු කරන්නේ නැතුව.
ගොඩක් දවස්වල රෑට මම මගේ කාමරේ පුංචි ඇඳේ වැතිරිලා, ඇටකටු අතරට කා වැදෙන සීතලෙන් බේරෙන්න තියෙන හැම බ්ලැන්කට් එකක්ම ඔත්තාගෙන, අත්තම්මා ඒ බලාපොරොත්තු භාරගන්නේ නැතුව හිටියනම් කොච්චර හොඳද කියලා හිතපු වාරවල් ගණන අනන්තයි.
මාව මෙහාට එවන්නේ නැතුව අත්තම්මා මාව කාට හරි කසාද බන්දලා දුන්නනම්… එහෙම උනානම් මං කොච්චර සන්තෝසෙන් එයා ළඟට වෙලා ඉන්නව?
මම ඉන්නවද මැරුණාද කියලවත් ගානක් නැති, මේ අමුතු ලෝකෙම කාත් කවුරුවත් නැතුව ජීවත්වනවට වඩා අත්තම්ම ලඟ ඉන්න හිටියනං කොච්චර හොඳද?
ඒත් මට දැනුණු අසරණකමට වඩා තාත්තා සහ අත්තම්මා වෙනුවෙන් කරන්න තියෙන යුතුකම මට ලොකුවට දැණුනා. මට දැනුණු නොසන්සුන්කම නොතකා, වෙව්ලන කකුල් ඇද ගෙන මම university lectures වලට ගිහින් පන්ති පටන් ගන්නකම් බලාගෙන හිටියේ, ලෙචරර්ස්ලා කියන දේවල් මට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා දෙගිඩියාවෙන්.
පහුගිය මාස කිහිපයම ගෙවුණේ මේ විදිහට. හැම මොහොතකම නොනවතින බියක් එක්ක පොරබැදුවා. University එකට යන බස් එක අල්ලගන්න බැරි වෙයි කියලා බය හිතුනෙ නැත්තං, කාත් එක හරි කතා කරද්දි වැරදි වචනයක් හරි tense එකක් හරි භාවිතා කරයි කියලා මම බය වුණා.
මාව ජීවත් කෙරෙව්වේ මම ගත්ත හුස්ම නෙවෙයි. තාත්තා මං ගැන දැකපු හීනය සැබෑ කරගන්න බැරි වෙයි කියන සැකයයි.
මම ඉඳගෙන හිටපු lecture room එක studentsලාගේ කලබල සද්දවල් වලින් පිරෙන්න ගත්තා—දොරවල් ඇරෙන වැහෙන සද්ද, ගෑනු ළමයින්ගේ අඩි උසස් සපත්තු සිමෙන්ති පොලවේ ගැටෙන හඩවල්.
මට එක පාරට මාස කීපයකට කලින් මගේ පලවෙනි university lecture එක මතක් වුණා. එදා lecturer podium එකට නැංගවෙල්ලාවෙ ඉදගෙන හිටපු තැනින් නැගිට එකම student මම කියන එකට තාමත් මගේ කම්බුල් ලැජ්ජාවෙන් රත් වෙනවා. ඉස්කෝලෙ ගිය කාලේ වගේ lecturersලාට ගෞරව එහෙම පුටුවලින් නැගිටලා පෙන්නන්න ඕන දෙයක් නෙවෙයි කියල තේරුම් ගනිමින් මම ඉක්මනට ඉඳගත්තා. පංතිය ඉස්සරහ හිටගෙන එයාලගේ දැනුම, අත්දැකීම් සහ අදහස් බෙදාගන්න ගුරුවරු ගැන ගැන අපිට තිබුණේ යුතුකමක් සහ කෘතඥතාවයක්. ඒත් මෙහෙ විශ්ව විද්‍යාල සිසුන් ආචාර්යවරුන්ගෙන් බලාපොරොත්තු වුණේ, එයාලගෙ රස්සාව වුන උගන්නන එක විතරයි. ආචාර්යවරුන් සහ සිසුන් අතර සම්බන්ධය අතර සම්බන්ධය පක්ෂපාති බවත් කෘතවේදී බවත් නැති, ගනුදෙනුවක් විතරයි කියලා තේරුම් ගන්න මට සති ගාණක් ගියා. ඒක නිසා ආසනෙන් නැගිටලා ආචාර කරන්නවත් උපදෙස් දුන්නහම අකමැත්තෙන් හරි ඒවාට යටත් වෙන්නවත් අවශ්‍ය වුණේ නැහැ. කිසිම බයක් නැතුව ආචාර්යවරුන්ට අභියෝග කරන සිසුන් ඕන තරම් මම ගිය පන්තිවල හිටියා. මම ඒගොල්ලො හැසිරීම දිහා බලාගෙන හිටියේ හිතාගන්න බැරි පුදුමයකින්.
ඉස්කෝලෙ යන කාලේ ගණන් හදන්ඩ දක්ෂ වුන හින්දා මට computer science degree එකක් කරන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. කොච්චර තේරුම් ගන්න උත්සාහ කළත්, මාව ඒකට ලියාපදිංචි කරපු හේතුව මට හොයාගන්න බැරි වුණා.
ඒ නිසා දවසක් මම පියල් මාමාගේ හිත රිදෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් ඒ ගැන ඇහුවා. මෙච්චර මහන්සිවෙලා එයා කරන උදව් වලට මට අකෘතඥ වගේ පේන්න ඕන වුණේ නැහැ.
“පියල් මාමේ, ඇයි මාව computer science කරන්න දැම්මේ?”
දුරකථනයේ අනිත් පැත්තෙ තත්පර කීපයක නිශ්ශබ්දතාවයක් පැතිරුණහම, මම දැනගෙන හිටියා පියල් මාමා එයාගෙ කන්නාඩි කුට්ටම පිරිසිදු කරනවා කියලා. ඒක කලින් කිහිප සැරයක්ම පිහදාගෙන තිබුණත්,එයා ඒක කළේ එයාගෙ සිතුවිලි එකතු කරගන්න පුරුද්දක් විදිහට. ඒත් ඒ නිහඬතාවය විනාඩියකට වඩා දික්වුනහම, මම සීමාවෙන් ඔබ්බට ගියාද කියලා මට බය හිතුණා.
“ඒක තමා රංගට ඕනෙ වුනේ, දුවේ,” හඬ බිඳුණු ස්වරයෙන් පියල් මාමා කිව්වා.
මගේ පපුව හිර වුණේ, පියල් මාමා මට ‘දුවේ’ කියලා කතා කරපු විදියට විතරක් නෙවෙයි, තාත්තට මං ගැන තිබුණු බලාපොරොත්තුවේ බර දැනුණු නිසා. එයාට ඕන වෙලා තිබුණේ මම ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක උපාධියක් ගන්නවා බලන්න විතරක් නෙවෙයි, ජීවිතයේ මට මුහුණ දෙන්න වුණු අසීරුම විෂය ඉගෙනගනිමින් ඒ ගමන සම්පූර්ණ කරන්න.
මම දේශන ශාලාවේ ඉඳගෙන හිටියේ අනික් සිසුන්ව හඳුනාගන්න කිසිම උත්සාහයක් ගන්නේ නැතුව. ඒත් ඒ වෙලාවේ කාමරේට ඇතුල් වෙච්ච ගෑනු ළමයා මගේ අවධානය සම්පූර්ණයෙන් ඇදගත්තා. රූපලාවණ්‍ය ආලේපන වලින් වැහිලා තිබ්බ එයාගේ මූණත්, වැලි ඔරලෝසුවක හැඩයක් තිබ්බ එයාගේ ඇඟ යාන්තමට වැහිලා තිබුණු ඇඳුමත් හරිම ලස්සනයි.
විශ්ව විද්‍යාල භූමියේ එහෙම ඇඳුම් ඇඳගෙන යන තරුණියක් දුටු පළවෙනි දවසේ මාව පුදුම කරේ එයාගේ අඩ නිරුවත නෙවෙයි, එයා වටේ හිටපු පිරිමු අය හැසිරුණු විදිහ. ඒ වගේ කෙනෙක් පාරේ යනකොට ලංකාවෙදිනම් මං දැකල තිබ්බේ අනවශ්‍ය විහිළු කිරීම්, ඇස් ලොකු කරන් බලාගෙන ඉන්න එක, එහෙමත් නැත්තං එහෙං මෙහෙන් අල්ලන එක. ඒත් ඒ වෙලාවේ එයා දිහා කට ඇරං බලාගෙන හිටපු එකම කෙනා මම විතරයි. අනික් අය කිසිම ගාණක් නැතුව තම තමන්ගේ වැඩක් කරගෙන හිටියා.
“අලුත් boarding place එක කොහොමද? කලින්ට එකට වඩා හොඳද?”
මගේ පිටිපස්සෙ හිටපු සිසුවියක් එයා ළඟ හිටපිය යාළුවාගෙන් ඇහුවා. ඒ දෙබසට හොරෙන් කන් දෙන්න මම මගේ විසිරිලා ගිය හිත ආපහු දේශන ශාලාවට ඇදගෙන ආවා.
“ඔව්, ගොඩක් හොඳයි. දැන් මට bus එකක් විතරයි ගන්න තියෙන්නේ. Uni එකටත් ළඟයි,” අනිත් සිසුවිය උද්යෝගයෙන් උත්තර දුන්නා.
ඒ කතාබහ නිසා මගේ හිතට අදහසක් ආවා. මීගොඩලාගේ ගෙදර කුලියට ඉන්න එක මට තවදුරටත් ඔරොත්තු දුන්නේ නැහැ. එහෙ ඉඳන් විශ්ව විද්‍යාලයට ගොඩක් දුරයි. Train සහ bus network එක කිසි ප්‍රශ්නයක් නැතුව run වුණු දවස්වලත්, එහෙ මෙහෙ යන්න මට පැය තුනක් විතර ගත වුණා.
කී දෙන්නගෙ කතාව මගේ හිතට අදහසක් ගෙනාව. මීගොඩලාගේ ගොඩනැගේ ගෙදරදිගටම කුලියට නතර වෙලා ඉන්න එක මට තවදුරටත් හරි යන දෙයක් නෙවෙයි. එයාලගෙ ගෙදර universityඑකට ගොඩක් දුරයි. මම ගමන් කරපු දුම්රිය සහ බස් දකිසිම ප්‍රශ්නයක් නැතුව වෙලාවට දුවපු දවස්වලත්, මගේ ගමනට පැය තුනක් විතර යනවා.
ඒ විතරක් නෙවෙයි අනික් කාමරේ හිටපු කෙල්ලො තුන්දෙනා කිසිම හේතුවක් නැතුව මුල ඉඳලම මාව කොන් කරා. එයාලා කිසිම දේකට මට මට උදව් කළේවත් මගෙත් එක්ක කිසිම දෙයක් බෙදා ගත්තෙවත් නැහැ. . ඒ නිසා හැම දේටම මට විනීතායි ශ්රියාලුයි ළඟට යන්න වුණා.
මුලදි නම් මං එක දැක්කේ ආශිර්වාදයක් විදිහට. මොකද එතකොට මට එයාලත් එක්ක මගේ පෞද්ගලික තොරතුරු කියන්න ඕන වුණේ නැහැ. පියල් මාමා මට අනතුරු අඟවලා තිබුණේ තාත්තා ගැන අනිත් අය දැනගන්න එක මට ආරක්ෂිත නොවුන නිසා මෙහෙ ඉන්න අනිත් ශ්‍රී ලාංකිකයන් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න කියලා. ඒත් මට බයවෙන්න දෙයක් තිබුණෙ නැහැ .මොකද ඒ කෙල්ලො තුන්දෙනා කාලීන පුවත් බලන ජාතියේ අය නෙවෙයි..
ඇත්තම කිව්වොත් මුලදි එයාලා ගෙවල් ළඟ තිබුණු Technology and Further Education college එකේ introductory courses කරන අය මිසක් university studentsලා නෙවෙයි කියලා දැනගත්තම, මම හිටියේ පොඩි උඩඟුකමකින් කියලා මම පිළිගන්න ඕන.
මම අහිංසකව විශ්වාස කරපු මිනිස්සු දෙන්නා මාව රවට්ටාගෙන, මම අරගෙන ආපු සල්ලි ටිකෙන් ටික හරිම සූක්ෂ්ම හූරා ගන්නවා කියලා තේරෙන්න ගත්තහම ,ඒ මහන්තත්තකම වැඩි කාලයක් තිබ්බේ නෑ.
මුලින්ම, මීගොඩලා කෑම වලටයි internet පාවිච්චියටයි වැඩිපුර ගාණක් අය කරන්න පටන් ගත්තා. අපිට දෙල්ගොඩ මහත්තයා එවපු email එකේ තිබුන විදිහට නම් මම කාමරේට ගෙවන්න නියමිත කුලිය, කෑම බීම සහ internet, මේ සියල්ල ඇතුළත් වුණු ගාණක්. මම ඒ email එක පෙන්නුවත් වැඩක් උනේ නැහැ.
පියල් මාමාගේ අවවාදය වුණේ එක ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව, වැඩිපුර වියදමට, විශ්ව විද්‍යාලයේ දේශන නැති වෙලාවට කරන්න පොඩි රස්සාවක් හොයාගන්න එයාලගෙන් උදව්වක් ඉල්ලගන්න කියලා.
ඒ විතරක් නෙමෙයි, ඔයා ලඟ මාරු සල්ලි තියෙනවද?මට ඩොලර් පහක් අඩුයි, දහයක් අඩුයි, කිය කියා, විනීතා නිතරම මගෙන් සල්ලි ඉල්ලන පුරුද්දක් හදාගත්තා. ඒත් කවදාවත් ඒ ගත්ත සල්ලි ආපහු දුන්නේ නැහැ.
අනිත් කෙල්ලෝ තුන්දෙනා ඇහෙන දුරක හිටියොත්, ඒගොල්ලෝ හුවමාරු කරගන්න බැල්මවල් මම නොදැක්කා වගේ මම විනීතාට සල්ලි දුන්නා. ඒගොල්ලෝ හැමෝම මාව මගහැරපු නිසා, මට විනීතගෙ පුරුද්ද ගැන එයාලගෙන් අහන්න විදිහක් තිබුණේත් නැහැ.
මුල් කීප සැරේ එහෙම වුණාම, මම හිතුවේ ඒක අමතක වීමක් කියලා. ඒ නිසා විනීතාට ණයට ගත්ත සල්ලි ආපහු දෙන්න කියලා මතක් කරන්න මට ලැජ්ජා හිතුනා. මට ඕනේ උනේ මම කළගුණ දන්න කෙනෙක් කියලා පෙන්නන්න. එයා මගෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් සියකටත් වඩා වැඩි ගානක් ඉල්ලගෙන තිබ්බත් ඒක ආපහු ඉල්ලන එක සුදුසු නැහැ කියලා මම හිතුවා.
ඒත් ඒ දෙන්නගේ වංචික හැසීම තේරුම් ගිහිල්ල, මගේ ඉවසීම පැන්නේ, මම වැඩ කරපු fast-food restauran අයිතිකාරයා මගේ දවසේ පඩියෙන් පැයකට ඩොලර් දෙක ගානේ කපාගෙන ඒක එයාලට ගෙවනවා කියල දැනගත්තට දවසේ.
ඇත්තටම, එයාලා නැතුව මට part-time job එකක් හොයාගන්න තව ගොඩක් කල් යන්න තිබුණා. ඒත් එහෙමයි කියලා එයාලට කිසිම යුතුකමක් තිබුණේ නැහැ fast-food franchise එක අයිති එයාලගේ යාළුවගෙන් finder’s fee එකක් ගන්න.
මට එයාලගෙ ගෙදර ගිනි තියන්න තරම් තරහක් ගියා. තාත්තා නැතිවුණාට පස්සේ තමයි මම දැනගත්තේ, එයාට කේන්ති ගියාම එයා කොච්ච දරුණු මනුස්සයෙක් වුණාද කියලා. මගේ ඇඟ ඇතුළේ දුවපු ඒ රස්නයට මට බය හිතුණා. මට තිබුණෙත් එයාගෙ ජානමනේ.
මට මාව සන්සුන් කරගන්න සැලැස්මක් හදාගන්න උනා.
මෙහේ වෙන දේවල් ලංකාවේ ඉන්න මගේ නෑදෑයොත් එක්ක කියන්න මට කොච්චර ඕන උනත් ඒක එයාලට අනවශ්‍ය භයක් සහ පීඩනයක් ගෙනෙන බව මම දැනගෙන හිටියා. මම මේ වෙනකොටත් අත්තම්මට අප්‍රමාණ දුකක් සහ හිසරදයක් වෙලා තිබ්බේ. මගේ ප්‍රශ්න කියලා එයාට තවත් බරක් දෙන්න මට ඕන වුණේ නැහැ.
විශේෂයෙන්ම, අධ්‍යාපනයක් නැති සුමනාට වඩා මට හැමදේම හොඳට කරන්න පුළුවන් කියලා අත්තම්මා විශ්වාස කරද්දී, මට කොහොමවත් එයාගේ බලාපොරොත්තුව සුන් කරන්න බැහැ.
මගේ හිත ඇතුලේ පොර බදපු හැමදේම බෙදා ගන්න විශ්වාසන්ත යාළුවෙක් හිටියා නම් කියලා මට හිතුණු වාර අනන්තයි. මං ගිය විශ්ව විද්‍යාලයේ ලංකාවෙ ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නවා කියලා මම දැනගෙන හිටියා. සමහරු මම ගිය දේශනවලටත් ආවා. ඒත් එයාලත් එක්ක යාළුකමක් හදාගන්න මම බය වුණා.
එයාලා මාව තාත්තාගේ දුව කියලා අඳුරගත්තොත්?
මම රට පුරා ප්‍රසිද්ධ පාතාල සාමාජිකයකුගේ සහ මිනීමරුවෙකුගේ දුව කියලා දැනගත්තොත්?
ඒක නිසා අත්තම්මා, පියල් මාමා සහ නිරෝෂා නැන්දාට අනතුරක් වෙයිද?
මගේ හිත ඇතුලෙ කැළැත්තෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න කවුරුත් මට හිටියේ නැහැ.
මගේ අරගලය තව කෙනෙක් එක්ක බෙදාගන්න මං බය වුණා. මට දැනුණු දේ වචනවලට පෙරළලා පිට කළොත්, ඒ අසාර්ථකත්වය ආපහු හැරවිය නොහැකි දෙයක් වෙලා හැමදාටම මගෙත් එක්ක රැඳෙයි කියලා මට බය හිතුණා.
අඩුම ගානේ මම සාර්ථක කෙනෙක් වෙනකං, “සුමනාට පුළුවන්නම්, මටත් පුළුවන්,” කියන මන්ත්‍රය ජප කරන එක ඊට වඩා ආරක්ෂිතයි කියලා මට හිතුනා. එතකං සාර්ථක වුණු කෙනෙක් විදියට ජීවත් වෙන්න මම තීරණය කරා.
ඒත් ඊට කලින් විනීතා සහ ශ්රියාල්ගේ ගෙදරින් සදහටම පිටවෙලා යන්න අලුත් තැනක් හොයාගන්න ඕනේ.
දෙවෙනි පරිච්ඡේදය — අමුතු නගරයක තනිවුණු හිත -1
“හායි, ඉෂානී. මගේ නම විනිතා, මෙයා මගේ මහත්තයා, ශ්‍රියාල්. ඔයා අපිට විනීතයි ශ්‍රීයි කියලා කියන්න," විනිතා මා වසර ගණනාවක් තිස්සේ හඳුනාගෙන හිටපු කෙනෙක් වගේ සුපුරුදුකමකින් මගේ කම්මුල් සිප ගත්තා. ශ්‍රියාල් මගේ ඇස් මඟහරිමින් යාන්තමට හිනා වුනා.එයා මාව වැළඳ ගන්නේ නැතුව ට්‍රොලිය තල්ලු කරගෙන අපිව පහු කරගෙන ඉස්සරහට අවිදගෙන යනකොට මට හීන් සහනයක් දැනුණා.
“ඔයාට ගොඩක් මහන්සි ඇති,” විනීතා හිතවත්කමකින් මගේ උරහිස මිරිකුවා. “අපේ කාර් එක නතර කරලා තියෙන්නේ හත්වෙනි තට්ටුවේ. එන්න යමු.” ඇය ඇගේ සැමියා පිටුපස යන්න ඉගි කරන ගමන් කීවාය.
මට දැනෙන මහන්සිය කියාගන්න බැරි ලැජ්ජාවෙන් මම හිස වැනුවා. අපි දෙන්නා ශ්‍රියාල් පිටිපස්සේ නිශ්ශබ්දව හෙමිහිට ඇවිදගෙන ගියත් ඒ නිහඬතාවය වැඩිවෙලා තිබ්බේ නැහැ.විනීතා සියලු ශ්‍රී ලාංකිකයන්ට ආවේණික ප්‍රශ්න මාලාව දිග ඇරියා. මගේ වයස, විවාහක අවිවාහක බවෙන් පටන්ගෙන්, මගේ පවුලේ ආර්ථික තත්ත්වයත්, මම විශ්ව විද්‍යාලයේ මොනවද ඉගෙන ගන්න යන්නෙ කියන එක ගැනත් එයා ප්‍රශ්න කරා. පියල් මාමා එක්ක පුරුදුනු වුන විදිහට, ඕනවට වඩා වැඩි විස්තර කියන්න යන්නේ නැතුව, මම පරික්ෂාකාරීව එයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
වාසනාවකට කාර් එක ළඟට ආවහම විනීතගෙ ප්‍රශ්න කිරීම දියවෙලා ගිහින් ශ්‍රියාල් කාර් එක start කරහම නිශ්ශබ්දතාවයකට පෙරලුනා. මම එයාලගෙ පරණ සුදු පාට Camry රථයේ පිටුපස ආසනයේ වාඩිවෙලා ජනේලෙන් එපිට බලන්න පටන් ගත්තා.
ශ්‍රියාල් දක්ෂ ලෙස කාරය බහු මහල් වාහන නැවතුම් පොළෙන් ප්‍රධාන මාර්ගය වෙත ගෙනයද්දී, කොච්චර මහන්සි උනත් මම ඇස් පියා ගත්තෙ නෑ— යමක් මග හැරී යයි කියන බයෙන්. ඔහු කාරය "Western Suburbs" යැයි සලකුණු කළ මාර්ගය හරහා M5 උමං මාර්ගයකට ඇතුළු කරා. එය මා අපේක්ෂා කළවාට වඩා බෙහෙවින් දිගු වූ අතර, ලංකාවේ කිසිදු මාර්ගයක මා දැක නැති එතරම් පළල් උමංමාර්ගයක් විය. එයට පිවිසුණු හැම රියදුරෙක්ම, හෝන් සද්ද නොකොට, ඉවසිලිමත්ව ඒකාබද්ධ වෙමින් ඉදිරියට යනු දැකීම මාව විෂ්මයට පත් කළා. ගමනාවේගය අඩු වුණුව විටදී පවා, කොළඹ රියදුරන් තුළ නිතර තිබුණු නොවිසිලිමත් ගතිය තිබ්බේ නැහැ. සිඞ්නිවල පාරවල් වල යන වාහන ඉතා ඉහළ වේගයකින් ගමන් කරන බව මට දැනුනේ ටික වෙලාවක් ගියාට පස්සේ. ඒත් කටුනායක කටුනායක ගුවන් තොටුපොළට ගිය ගමනේදී දැනුනාට වඩා ආරක්ෂිත බවක් දැනුනා.
සිඩ්නිවල පාරවල් පළල් උන විතරක් නෙවෙයි, රෝද ඒවාට වැටුනහම බඩවැල් කැලත්තෙන තරමට ගැස්සෙන තරමේ වළවල් තිබුනෙත් නෑ. ශ්‍රියාල් වාහනය විනයාන්යුතව ධාවනය කල නිසා, හදිසි තිරිංග තද කිරීමක් සිදුවුණෙත් නැහැ. අපි අධිවේගී මාර්ගයෙන් පිටත් වී, නාගරික වීදිවල ගමන් කිරීමට පටන් ගත්තට පස්සේ පාරවල් වෙනස් වෙයි කියලා මම හිතුවත්, එහෙම ලොකු වෙනසක් පෙනෙන්න තිබුණේ නැහැ. පාරවල් අයිනේ හුළඟේ පාවෙන සිලි මළු, නිදහසේ ඇවිදින බල්ලො, පූසෝ ගවයෝ විතරක් නෙවෙයි සිඟන්නෝවත් පේන්නෙ හිටියේ නැහැ. මාර්ගය සහ පදිකවේදිකාව දෙකම සමසේ පිරිසිදුව තිබුණා. මාර්ග සංඥා පහන් එළිය නොතකා මාර්ගය හරහා යන පදිකයන් නොවුණු අතර, ඔවුන් වීදි සංඥා හරිත වන තෙක්, පදිකයින්ගේ මාරුව අසල ඉවසීමෙන් රැඳී සිටියා.
සිඩ්නි ඉඳන් විනීලගේ ගෙදරට යන මාර්ගයේ රථවාහන තදබල අඩුවෙද්දී මට නින්ද ගිහින්. මට ආයෙමත් ඇහැරුනේ කාර් එකේ දොරවල් වැහෙන සද්දෙට. ඒ වෙනකොට විනීතයි ශ්රියාලුයි දෙන්නම කාරයෙන් බැහැලා.
“එන්න ඉෂානි, ඔන්න අපි ගෙදර ආවා,” විනීතා කාර් එකේ මං ඉඳගෙන හිටපු පැත්තෙ දොර ඇරලා මට බහින්න ඉඟිකරන ගමන් කිව්වා. අපි හිටියේ නිස්කලංක වීදියක අළු පාට නිවසක් ඉදිරිපිට. මගේ ඇස් දෙක ඉස්සෙල්ලාම ඇදිල ගියේ ගෙදර ඉස්සරහ තිබුණු දැවැන්ත මල් වලින් පිරුණු ජකරන්දා ගසට. ඒගොල්ලන්ගේ මිදුලත් පදික වේදිකාවත් වැහෙන්න මල් වැටිලා තිබුණේ හරියට දම් පාට පලසක් වගේ.
අවුරුදු ගානකින් තීන්ත බිඳක තෙතමනයක් දනිලා නැති නිසා, අපි ඉස්සරහ තිබ්බ ෆයිබ්රෝ නිවස, යල්පැනගි දිරා පත් වුන එකක් වගේ පෙනුනේ. මම වටපිටාව බලන අතරේ ශ්‍රියාල් මගේ බෑග් ටික ඇදගෙන ගෙදර දිහාට ගියා.
"යමු ඇතුළට. එළිය සීතලයි," විනිතා නිවස දෙසට ඇවිද යමින් කතා කලහම, මම එයාලගෙ පස්සෙන් ගියා.
“ඔන්න, අපි ඔයාව අපේ ගෙදරට ආදරයෙන් පිළිගන්නවා,” ඉස්සරහ දොරෙන් ඇතුල් වෙමින් විනීතා පිටිපස්සට හැරිලා දිදුලන සිනාවකින් කිව්වා.
“අද ඉඳන් මේක ඔයාගේ ගෙදර වගේ හිතන්න, ඉෂානි.” ඇය මගේ උරහිසට තට්ටුවක් දාලා තව ටිකක් හිනාව පුළුල් කළාය. මමත් බොරු හිනාවක් පෑවේ, නහයට තදින් වැදුණු කරවල හොද්දේ සැර ගඳ ගැන මොනවත් නොකියා ඉන්න මහන්සි වෙන ගමන්.
සාලෙයි, පොඩි කෑම කාමරයෙයි තිබුණු ජනෙල් ඝන තිර රෙදි වලින් වහලා තිබුණු නිසා ගෙදර හරිම අඳුරුයි. ඒගොල්ලන්ට ඕන උනේ ඇතුළට හිරු එළිය එන එක නවත්වන්න නම්, ඒක සාර්ථකව වෙලා තිබුණා.
“එන්න, ගෙදර පෙන්නන්නම්,” විනීතා කිව්වේ ශ්රියාල්ට පැත්තකට වෙන්න ඉඟි කරන ගමන්. ඊට පස්සේ ඇය මට ගෙදර පහසුකම් ටික පෙන්නලා, කාමරයකට ඇතුල් වුණාය.
ඒ කාමරය අඳුරුයි විතරක්ම නෙවෙයි, හරිම අපිළිවෙලයි. හෝදපු නැති දාඩියෙන් ගඳින් පිරුණු ඇඳුම් හැමතැනම. ඇතුළේ bunk beds දෙකක් තිබුණා.කාමරයේ built-in closet ඒකේ දොරේ කණ්ණාඩියක් එල්ලලා. පොඩි මේසයක් තිබුණත්, ඒක පොත්, හිස් තේ කෝප්ප, දිග කළු කොණ්ඩ රැහැන් වලින් පිරුණු hairbrush එකකින් වැහිලා. පුටුව පිරෙන්න ඇඳුම් එල්ලලා. පාඩම් කරන්න කිසිම ඉඩක් තිබ්බේ නෑ.
“මේ තියෙන්නේ ඔයාගේ කාමරේ. මේ කාමරේ ශෙයා කරන්නේ ලස්සන ලංකාවේ කෙල්ලො තුන්දෙනෙක්. ඔයා එයාලට කැමති වෙයි. එයාලා මේ ළඟ තියෙන TAFE එකට යන්නේ.”
මම ඔලුව වැනුවේ ඒකත් තවත් විශ්ව විද්‍යාලයක් කියන වෙන නමක් කියලා හිතාගෙන.
විනීතා කාමරයට ඇතුල් වෙලා බිම දාලා තිබුණු තුවාය අරගෙන ඇඳ උඩට දැම්මා. මම නම් ඇතුළට අඩියක්වත් තියන්න අකමැත්තෙන් දොර ළඟම හිටියේ මොන විදිහකින්වත් මට මේ කාමරේ නවතින්න බැහැ කියලා හිතාගෙන.
“ඔයාට ගන්න තියෙන්නෙ උඩ තියන එක,” විනීතා කාමර එහා පැත්තෙ තිබුණු හිස් ඇඳ පෙන්නමින් කිව්වා.
“මට බෑ.”
මම එහෙම කියල කෑගහපු සද්දෙට, මගේ බෑග් එක තල්ලු කරගෙන කාමරයට යන්න ගිය ශ්රියාල්ගේ ගමන නතර වුණා. විනීතයි ශ්රියාලුයි දෙන්නම ඇස් ලොකු කරගෙන මං දිහා බලාගෙන හිටියේ මම වගේම මගේ කෑගහිල්ලට බය වෙලා.
“ඔයාලට පොඩි වැරදීමක් වෙලා,” එයාලගේ ඇස් මගේ දිහාටම යොමු වෙලා තියෙනවා දැක්කම, මම පැහැදිලි කළා. “අපි ගෙව්වේ single room එකකට shared room එකකට නෙවෙයි. මිස්ටර් දෙල්ගොඩ ඒක ලිඛිතව අපිට confirm කරලා තිබුණා.”
මගේ හදවත පරණ රේල් පාරක දුවන දුම්රියක් වගේ ගැහෙද්දිත් මම කතා කරේ මේ තරම් අවුල් සහගත කාමරයක් share කරන්න වෙයි කියන බයට.
එයාලා “බැහැ” කියලා කිව්වොත්?
මිස්ටර් දෙල්ගොඩ හරි විස්තර දීලා නැත්නම්?
මගේ ඔලුව ඇතුළේ එහෙම what ifs ගොඩක් දුවද්දි මම විනීතාගේ මූණේ හැඟීම් වෙනස් වෙන විදිහ දිහා බලාගෙන හිටියා.
“ඔයාට sureද, ඉෂානි? අනිත් අයත් එක්ක room එක share කරන එක ඔයාට හොඳයි,” විනීතා හරිම මෘදුව පොඩි ළමයෙකුට කතා කරනවා වගේ මගෙන් ඇහුවා. “කට්ටියක් එක්ක ඉන්නකොට ඔයාට ඉක්මනට අලුත් යාලුවෝ හදාගන්නත් පුළුවන්, වටපිටාවට ඉක්මනට හුරු වෙන්නත් පුළුවන්.”
ඇගේ මූණේ හැඟීම් මෘදු වුණත්, ඒ අඳුරු දුඹුරු ඇස් වල තිබුණු බැල්ම ඇගේ කටහඬටවත් මූණේ හැඟීම් වලටවත් ගැළපුණේ නැහැ.
ඇය කියපු දේ මගේ හිස ඇතුළේ කැරකෙද්දී, මම ඉක්මනට වාසි අවාසි හිතලා බැලුවා. ඇය කියපු දේ තේරුමක් තිබුණත්, දැනටමත් පිරී ඉතිරී ගිය ඒ කාමරේ share කරන්න වෙනවා කියන එකෙන් එහාට හිතන්න මට බැරි වුණා.
“ඔව්. මට sure.”
මට මොහොතකට හිතුණා විනීතා ආයෙත් මගේ අදහස වෙනස් කරන්න උත්සාහ කරයි කියලා. ඒත් වාසනාවකට එහෙම වුණේ නැහැ. ඒ දෙන්නම උරහිස් හකුලාගෙන කාමරයෙන් එළියට ගියා.
විනීතා අල්ලපු කාමරේ දොර ඇරපුහම මට පොඩි සහනයක් දැනුනා. ඒත් ඒකට bedroom එකක් කියලා කියන්නම බැහැ, මොකද ඒක ලොකු කාමරයක් partition කරලා හදපු පොඩි ඉඩක් විතරයි. ජනේලයක්වත් තිබුණේ නැහැ. Single bed එකක් සහ බිත්තිය අයිනේ තිබුන railway sleepers වගේ polish කරපු ලී ලෑල්ලත්ඇරෙන්න, ඇතුළේ වෙන කිසි දෙයක් තිබුණේ නැහැ.
මගේ suitcase එක තියාගන්න තියා, ඇඳුම් මාරු කරන්නවත් ඉඩක් ඒ කාමරේ නැහැ.
මම මොනවත් කියන්න කලින්, ශ්‍රියාල් මගේ බෑග් එක ඇඳ උඩට දාලා කාමරෙන් එළියට ගියහම විනීතාත් ඔහු පස්සෙන් දොර වහගෙන ගියා.
මං ඇඳේ ඉඳගත්තෙ, බියෙන් සහ සැකෙන් කැළැත්තෙන මගේ හිතට පොඩි හුස්මක් ගන්න ඉඩ දෙන්න. ඒත් ගුලි වෙලා අඬන්න පටන් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නැහැ. මම ජයගන්න ආව මේ අලුත් ලෝකය, මම හිතුවට වඩා ගොඩක් අභියෝගාත්මක එකක් වෙන්න යන බව පැහැදිලි වෙමින් තිබුණා.
***
පළමු පරිච්ඡේදය: ආරම්භයක් සඳහා අවසානයක්-4
සිඩ්නි කරා යන ගුවන් යානයේ රෑ කෑම එක බෙදපු ගමන්, මම ඉක්මනට ඇලුමිනියම් ෆොයිල් එකෙන් ඔතල තිබ්බ පොඩි පෙට්ටිය දිග ඇරියා. කහපාටට දිලිසුණු බුරියානි බත් එකේ සුවඳින් මං හිටපු පුංචි කෑල්ල පිරුණේ බත් කටක් කන්නත් ඉස්සර වෙලා මට රැස දැනෙන විදිහට. පොල් කිරි, ගීතෙල් සහ තුනපහ හොඳට මිශ්‍ර කර උයල තිබ්බ කුකුල් මස් මාළුව හරිම රසයි. එළවළු ටිකත් හරිම පංකාදුයි. මම බලාපොරොත්තු උනාට වඩා ආශ්වාදයකින් කෑම එක ඉවර කරලා නිදාගන්න සැරසුණා. මගේ හිතේ තිබ්බ කලබලකාරී ගතිය හින්දා මම හිතුවෙන මට නින්ද නොයයි කියලා. ඒත් ඒ නොසන්සුන්කම හින්දම ද කොහෙදෝ මම පැය හයකටත් වඩා නිදාගෙන. මට ආය ඇහැරුනේ flight එක සිඩ්නිවලට land කරන්න ළං වුනහම.
මට හරි ඉක්මනටම සිඩ්නි සහ Changi airport දෙකේ වෙනස තේරුනා Changi වල තිබ්බ අති නවීන තාක්ෂණික දීප්තිය සිඞ්නි වල තිබ්බේ නෑ. ඒ විතරක් නෙවෙයි ප්‍රමාණයෙනුත් කුඩයි. ඒ නිසාම, සෙසු මගීන් පිරිසත් සමඟ ගොස් ආගමන පෝලිමේ සිටගෙන, මගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කරවා ගන්නට ඒ තරම් බය හිතුනේ නැහැ..
“ඔබව සාදරයෙන් සිඞ්නි වලට පිළිගන්නව. ඔබේ කාලය සතුටින් ගත කරන්න, මහත්මිය."
ආගමන නිලධාරියා ගොරෝසු ඔස්ට්‍රේලියානු උච්චාරණයකින් කථා කළත්, ඔහුගේ උණුසුම් සිනාව පැරණි තරමක් අඳුරු ගුවන්තොටුපොලේ හිස්කමට එළියක් ගෙනාව.
ඊළඟට මම අනික් මගීන්ගේ පස්සෙන් බෑග් ගන්න ප්‍රදේශයට ගියා. මම හෙමිහිට පැත්තකට වෙලා අනික් අය කරන දේවල් අධ්‍යයනය කරා. පළමුව ට්‍රොලියක් ගත යුතුයි, ඊට පස්සේ බෙල්ට් එක ළඟට ගොස් බෑග් එක ගත යුතුයි, ඉන්පසු ඝන වීදුරු පැනල් වලින් වෙන් කළ වෙනම කොටසකට යන පෝලිමේ සිටගත යුතුයි.
මගීන් වෙනුවෙන් බෑග් එක belt එකෙන් අරන් දෙන්න පොරකනේ කුලීකාරයන් නොපෙනුනහම මගේ හිත ගැහෙන්න ගත්තා. මගේ බෑග් එක ඔසවගන්න බැරි තරමට බර වැඩියි. ලංකාවෙදි නම් පියල් මාමා පෝටර් කෙනෙකුට දීල බෑග් එක කවුන්ටර් එක ළඟට යනකම්ම තල්ලු කරවගත්තා. ඒ මනුස්සයා ඒක බෙල්ට් එකටත් දාලා දුන්නා.
“සුමනට පුළුවන් නම් මටත් පුළුවන්,” මම මතුරමින් හිස් ට්‍රොලි රාක්කය දිහාවට ගියා. ඉස්සෙල්ලාම ට්‍රොලි රාක්කෙන් එකක් මුදා ගන්නේ කොහොමද කියලා බලන්න මම ට්‍රොලිය හරස් දණ්ඩෙන් අල්ලාගෙන මගේ දිහාවට ඇද්දත් වැඩක් වැඩක් උනේ නැති කොට කලබලෙන් වටපිට බැලුවා.
"පිටතට අදින්න කලින් බාර් එක පහළට තල්ලු කරන්න," මගේ පිටුපසින් හිටිය මගියා අඩු ඉවසිල්ලෙන් කිව්වා. මම ඔහුගේ උපදෙස් ඉක්මනින් ක්‍රියාවට නංවන්නේ නැති බව දැක, ඔහු ඉදිරිපත් වෙලා ට්‍රොලියක් ඇද්දලා දුන්නහම මම කෘතඥාවෙන් හිනා උනා.
මගේ බෑග් ගන්න කුමන කැරොසල් බෙල්ට් එක ළඟට යන්නද කියලා හොයාගන්න මට මිනිත්තු කීපයක් ගියා. අවසානයේ කැරොසල් එක හඳුනාගත් විට, බෙල්ට් එකේ කරකවෙමින් යන්න ඉතිරිව තිබුණේ බෑග් කිහිපයක් පමණයි. වාසනාවකට, පියල් මාමා මගේ සූට්කේස් හැන්ඩලයට ඉක්මනින් හඳුනාගන්නට හැකි වන ලෙස, විවිධ වර්ණ රිබන් ප්‍රමාණවත් තරම් බැඳලා තිබුණා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් මම බෑග් එක බෙල්ට් එකෙන් ඇදගෙන ට්‍රොලියට පටවා ගෙන ජයග්‍රාහී හැඟීමකින් කොරන්ටීන් පෝලිමට එකතු වුණා. මගේ බෑගයේ සත්ත්ව හෝ ශාක පදනම් කළ නිෂ්පාදන කිසිවක් නොතිබූ නිසා, ඉක්මනටම කොරන්ටීන් පරීක්ෂාවෙන් නිදහස් වුණා.
අවසානයේ පැමිණීමේ දොරටුවට ළඟා වූ විට, ඒ ප්‍රදේශය පිරිලා තිබුණේ ආදරණීයයන්, මිතුරන් සහ පාරිභෝගිකයන් පිළිගන්න බලා සිටින පවුලේ අය, යහළුවන් සහ ටැක්සි රථ රියදුරන්ගෙන්. විවිධ උච්චාරණ සහ භාෂාවලින් කතා කරන, විවිධ ජාතීන්ගෙන් පිරුණු ශාලාව මාව විශ්මිත කරා. ශාරීරික වෙනස්කම් විතරක් නෙවෙයි, සමේ පාට, ඇඳුම් පැළඳුම් වල ඒ තරම් විවිධත්වයක් මම ඊට කලින් කවදාවත් දැකලා තිබ්බේ නැහැ.
මම මගේ ට්‍රොලිය තල්ලු කරගෙන කලබලකාරී අඩු තැනක් හොයාගෙන ඉදිරියට ගියා. මාව භාරගන්න එන ලංකාවේ යුවළ එනකං මට කොහොමටත් ඉන්න උනා. මාව විශ්ව විද්‍යාලයට රෙජිස්ටර් කරපු ඒජන්ට්ම තමයි මට ඒ දෙන්නගේ ගෙදරින් කාමරයක් හොයලා දුන්නෙ. අපි හැමෝම එකඟ වුණා මට පරිසරය පොඩ්ඩක් පුරුදු වෙනකම්, මට පහසුවෙන් යමක් කතා කරන්න, අහගන්න පුළුවන් තැනක ඉන්න එක හොඳයි කියලා. පියල් මාම කිව්වෙ ඒගොල්ලො එනකන් එළියට වෙලා ඉන්න එක හොඳම දේ කියලා. මමත් ඒකට කැමති වුණා. ඒකෙන් මට නිදහසේ හුස්ම ටිකක් ගන්න අවස්ථාවක් ලැබුණා.
මම හෙමිහිට ප්‍රවේශ ද්වාරය අසළ බංකුවක් හොයාගෙන, ට්‍රොලිය එතැන නවත්වා, හෙබිහිට වටපිටාව බැලුවේ මගේ පළවෙනි සිඩ්නි අත්දැකීම මතකයේ සටහන් කරගන්න.
ඉදිරියේ තිබුණු මහා මාර්ගයේ කාර්යබහුල බවක් පෙනුණත් කටුනායක ගුවන්තොටුපොළ හරියේ තියෙන කලබලගාරි ගතිය දැනුනේ නැහැ. සිඞ්නි වල රියදුරු
රියදුරුවෝ ඉවසලිවන්තකාරයෝ වගේ. ඒවගේම ටක්සිරිකාරයෝ මගින් පස්සේ කෑ ගසමින් ආවෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බ ඝෝෂාකාරී සංගීත සද්ද ඇහුනෙත් නැහැ. මට හරිම සහනකාරී වෙනසක් දැනුනා.
මුස්පේන්තු අදුරු අහසයි, සීතල හුළඟයි, මට මතක් කරේ නුවරඑළිය. මම හිතුවේ නැහැ ඕස්ට්‍රේලියාවේ ගිම්හානය මේ වගේ සීතල වෙයි කියලා. පියල් මාව නම් කිව්වේ මේ කාලේ උෂ්ණත්වයන් තිස් ගණන්වල තියෙයි කියලා.හොඳ වෙලාවට මම ජකට් එකක් අරගෙන ආවේ. මම ඒක ඇඳගෙන අත්ලවල් අතුල්ලගත්තා ඇග උණුහුම් කරන්න.
පැය විසි හතරක විතර ගමනකට පස්සේ මට හරිම මහන්සි. චැන්ගි ඉඳන් සින්ඩි එනකම් මම නිදා ගත්තත්, මට ඇස් දෙක වහගන්න හිතුනා. අහල පහළ කවුරුත් නැති හින්දා මම සද්දෙන් ඈනුමක් ඇරියා. වෙලාව බලන්න ඔරලෝසුව බැලුවත්, මම වෙලාව වෙනස් කරලා තිබ්බේ නෑ. ලංකාවත් සිඩ්නිත් අතර කාලේ වෙනස පැය හතරහමාරක් ද තහමාරක්ද කියල මත මතක නැහැ. පියල් මාම නම් කිවුවේ ඒ වෙනසට පුරුදුවෙලා දවල් කාලයේ දැනෙන තෙහෙට්ටුව මගහැරෙන්න දවස් කීපයක්ම ගතවෙයි කියලා. ඒ මෙතනට ළඟා වෙන්න කාල කලාප කීපයක් හරහා ආව නිසා ජෙට්ලැග් දැනීම ස්වභාවිකයි කියලා.
මට යාන්තම් නින්ද යාගෙන එනකොට තමයි මගේ හිසට උඩින් කඩහනක් ඇහුනෙ.
"සමාවෙන්න, ඔබ ඉෂානි ගමගේද?"
මම හිස හරවල බලනකොට මැදි වයසෙ කාන්තාවක් මිත්රශීලීව හිනා වුණා. එයා අමතන්නේ මට කියන එක දැනුනේ තත්පර කිහිපයක්ම පහුවෙලා.මම හෙමිහිට ඔළුව වනලා ඉදගෙන හිටපු තැනින් නැගිටිනකොට තමයි මතක් උනේ ලංකාවෙන් පිටවුණාට පස්සේ මම මගේ නමට විතරක් නෙමෙයි මගේ උරුමයටත් මේ දැවැන්ත නගරයත් ආගන්තුකයෙක් බව.
පළමු පරිච්ඡේදය: ආරම්භයක් සඳහා අවසානයක්-3
Sri lankan ගුවන්යානය Changi airoport එනකොට අඩුවෙලා තිබුණු හිතේ කලබලය ආයෙමත් වැඩි වුණා flight එකෙන් බැහැල terminal එකට ඇවිදගෙන යනකොට. ගැහෙන හිත පොඩ්ඩක් නිවාගන්න මම නිහඬ කොනක හොයාගෙන ගියා. පියල් මාමා දුන්නු උපදෙස් පත්‍රිකාව අරගෙන මම හෙමිහිට ඒක කියවන්න ගත්තා.
ඊලඟ connecting flight එක තියෙන්නේ තව පැය හයකින්.
එය පිටත් වෙන්නේ වෙන terminal එකකින්. ඒ terminal එකට යන්න Skytrain කියන කුඩා දුම්රියකට නගින්න ඕනේ. ඒ දුම්රිය terminal දෙක අතර ධාවනය කරනවා.
කෑම කන්න ඕනෙනං Changi terminal එකෙ අවන්හල් තිබෙනවා. අතරමං වුනොත්, යන්න ඕනේ තැන අහගන්න information counter තිබෙනවා.
අවශ්‍යනම් internet එක පාවිච්චි කරන්න public booth තිබෙනවා.
මම ආය ආයෙත් ඒ ලැයිස්තුව මුල ඉඳන් අගට කියෙව්වා. ඒකත් එක්ක මගේ හිත ටිකක් සන්සුන් වුණා.
ඒත් මට කෝල් එකක් දීලා අත්තම්මාගේ කටහඬ අහන්න ආස හිතුණාා. මම කොච්චර බයෙන්ද,කොච්චර අකමැත්තෙන් ද මේ ගමන යන්නේ කියල අත්තම්මා දැනගත්තොත්, එයා මට ආයෙමත් ලංකාවට එන්න කියලා කියයිද? හදිසියකට පාවිච්චි කරන්න කියලා අරගෙන ආපු ජාතියන්තර සම්බන්ධතා තියෙන ෆෝන් එක මම අතට ගත්තත්, මම සිඞ්නිවල නවාතැනට යනකම් කතා කරන්නේ නෑ කියල අපි තීරණය කරලා තිබ්බ නිසා මම කෝල් එකක් ගත්තේ නැහැ. ඒක සල්ලි ඉතුරු කරන්න ගත්ත තීරණයක් විතරමක්ම නෙවෙයි. මට තනියම යමක් කරගන්න, ස්වාධීනව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන නිසා ගත්ත තීරණයක්.
“ඔයා ලංකාවෙ හිටියොත් ඔයා විතරක් නෙවෙයි, අත්තම්මටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මටයි නිරෝෂාටයි වුනත් කරදරයක් වෙන්න පුළුවන්.” මට මතක්වුනා අත්තම්මා නැති වෙලාවක් බලලා පියල් මාමා මට රහසින් කියනකොට එයාගේ ඇස් වල තිබ්බ බය.මම අන්තිමට ලංකාවෙන් පිටත් වෙන්න තීරණය කළේ මං වෙනුවෙන් නෙවෙයි, එයාල වෙනුවෙන්. එනිසා අත්තම්මට කෝල් කරන එකවත්, ආපහු ගෙදර යන එකවත්, තවදුරටත් විසඳුමක් වුණේ නැහැ.
“ඇත්තටම මේක මෙච්චර අමාරු වෙන්න බැහැනේ අර ගමේ ඉන්න සුමනටත් Dubai ගිහින් එන්න පුලුවන්නම්. එයා ඉස්කෝලෙ ඉවර කරලත් නෑ. එයාට ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට ලියාගන්න බැහැ.මම එයාට වඩා කොච්චර උගත්ද?” සුමනා කියන නොදන්න ගෑනු කෙනා එක්ක මාව සංසන්දනය කරන ගමන් මම අත්තම්මා කිව්ව දේ හෙමිහිට මතු රැව්වෝත් මේ ගමන ලේසි වෙයි කියලා මට හිතුණා.
මම වටපිට බලන ගමන් හෙමීට terminal එකේ ඇවිදින්න ගියා. Changi airport එකේ නූතන බවත්, තාක්ෂණික දියුණුවත් මාව පුදුම කරා. Terminal හැම එකක්ම විශාලයි. විවෘතයි.ගුවන් ගමනට පස්සේ terminal එකට ආවහම හරිම සැහැල්ලු නැවුම් බවක් දැනුනා. එහි දීප්තිමත් සුදු ආලෝකය ඒකට ගොඩ වුණ හැමෝම ආදරෙන් පිළිගත්තා. Terminal එකේ වැඩ කරන චීන, මැලේසියානු, ඉන්දියානු සේවකයෙක්යන්ගේ වෙනස්කම් මට කුතුහලයක් වුණා. චීන ජාතිකයන්ගේ තියුණු බව, මැලේසියානුවන්ගේ ප්‍රබෝධමත් ගතිය, ඉන්දියානු සේවකයන්ගේ රළු ස්වභාව මට අලුත් දෙයක් වුණා.
මම හෙමිහිට අවන්හල් වල menu කියවන ගමන් ඇවිදගෙන ගියා.ඒත් ඒ ලැයිස්තුවල තිබ්බ බොහෝ කෑම වර්ග මටත් අඳුනගන්න බැරි වුණාා. අවසානයේදී ඉන්දියානු අවන්හලක් හොයාගත්තත්,බත් පිඟානෙ ගාන රුපියල් වලට හරවගත්තහම මට ඇනුම් කරන්න හිත දුන්නේ නැහැ. මම රැගෙන ආපු පොඩි මුදල සිඩ්නිවල වියදමට තිබ්බේ. තාත්තගෙ මරණෙන් පස්සේ අපේ වත්කම් ඔක්කොම අපිට නැතිවුණ.Course එකට ගෙවන්නයි, ටිකට් එක ගන්නයි, තාත්තා මගෙන් මගේ නමින් දාලා තිබ්බා ඉතිරි කිරීමේ ගිණුම හිස් කළාට පස්සේ ඉතිරි වුනේ පොඩි ගාන පළවෙනි semester එකේ වියදමට අයින් කරලා තිබ්බේ.
පළමු පරිච්ඡේදය: ආරම්භයක් සඳහා අවසානයක්-2
පැය තුනක් විතර terminal එකේ බලා ඉදල අන්තිමට මම ගුවන් යානයට නැංගා. ලස්සන මූණකුයි හිනාවකුයි තිබ්බ, පිළිවෙළට ඇඳගත්ත air hostess කෙනෙකු මාව පිළිගත්තා. Boarding pass එක අතේ තද කරගෙන, ඇහෙන් කනෙන් දාඩිය පෙරාගෙන, තෝත්තුවෙන් aisle දිගේ ඇදුනු මාව දැක්ක ගමන්ම, ඇය මම පළමු වරට ගුවන් ගමනක් යන කෙනෙකු කියලා ලේසියෙන් හඳුනා ගත්ත ඇති. පියල් මාමා එක්ක එකතුවෙලා තියෙන්නේ මගේ ගමනේ හැම පියවරක්ම සවිස්තරාත්මකව දැනගෙන හිටියත් මගේ හිතේ චකිතයෙන ඔද්දල් වෙලා තිබ්බේම. ගුවන් සේවිකාව හරිම පහසුවෙන් මගේ hand luggage එක overhead compartment එකට ඔබලා, මගේ ආසනය පෙන්නුවාම මට පොඩි සහනයක් දැනුනා. මම ඉක්මනට ජනේලය ලගින් වාඩිවෙලා, ඉස්සරහා ආසනය යටට handbag එක ඔබා ගත්තා. යාන්තම් ඊළඟ පැය හතර නිදහස්. සිංගප්පූරුවේ බහිනකං මට තිබ්බේ ඉඳගෙන යන්න.
ගුවන්යානාව ඉක්මනින් මගීන්ගෙන් පිරෙන කොට, මගේ ළඟින් මොන වගේ කෙනෙක් වාඩිවෙයිද කියලා මම කුතුහලෙන් බලාගෙන හිටියේ. එයා ලාංකිකයෙක් උනානම් හොඳයි කියන පුංචි සිහිනය කඩාගෙන වැටුණා විදේශ යුවළක් එහා පැත්තෙ වාඩිවුණහම. එයාල seat belt එක දාගන්න හැටි ඇස් කොණෙන් බලාගෙන ඉඳලා, මමත් හෙමීට මගේ එක දාගත්තා.ගමනාන්තය දක්වාම සූක්ෂමින් එයාලව අනුගමනය කරන්න මට ඔබ තීරණය කරා.
"ඔය ගමන එච්චර අමාරු වෙන්න බැහැ. අර සුමන පවා තනියම ඩුබායි ගිහින් එනවා. ඒ ගෑනි හයේ පන්තිවත් ඉවර කරලා නැහැ.ඉංග්‍රීසි තියා සිංහලවත් ලියන්න බැහැ... ඔයා ඊට වඩා ගොඩාක් දක්ෂයි!” මං වෙනුවෙන් සකස් කරපු නවු සැලැස්ම ගැන මගේ බය ප්‍රකාශ කලහම අත්තම්මා මට තරවට්ටු කරපු හැටි මට මතක් වුනා. ඒගොල්ලන්ට ඕන වුනේ මාව එක රැයෙන් ආදරයෙන් බලා ගත්තු තරුණ ගැහැණු ළමයෙක්ගෙන් ස්වාධීන කාන්තාවක් බවට පරිවර්තනය කරන්න. ඒ වගේ සංක්‍රමණයක් ක්ෂණිකව කොහොමද කරන්නේ කියල මට තේරුනේ නැහැ. ඒක අහලා අත්තම්මගෙන් බැනුම් අහන්නත් මට හයියක් තිබ්බේ නැහැ. ඒනිසා මම අත්තම්මට නිකමටවත් මතක් කරේ නැහැ සුමනට නං ඒජන්සියෙන් මුල් පුහුණුකමක් ලබා දුන්නා කියලා. මට පියල් මාමා කියලා දෙන දේ ඇරෙන්න වෙන කිසිම දැනුමක් තිබුණේ නැහැ කියලා. පියල් මාමා මගේ ටිකට් පත අතට දෙනකම්ම මම හිතාගෙන හිටියේ එයත් මගෙත් එක්ක යන්න එයි කියලා. මම හිතුවේ නෑ මැණිකක් වගේ බලා ගත්ත මාව, අත්තම්මා කාත් කවුරුත් නැති අනාථයෙක් වගේ පිටරටකට තනිවම යවයි කියලා. සති ගානක ඉඳන් මගේ හිතේ මැවුණු හීන වල ඒ විකල්පය තිබ්බේ නෑ.
කවදාවත් තනියම කොහෙවත් ගිහින් හිටපු නැති මම මේතාක් දුරට මේ ගමන ආපු එකක් ලොකු ජයග්‍රහණයක්. ජීවිතේ පළවෙනි වතාවට තව කෙනෙකුගේ සහයක් නැතුව මම ගමනක් ආපු පළවෙනි පාර. ඒත් ඒ කඩඉම විදින්න තරම් මගේ හිත සන්සුන් වුණේ නැහැ.
මගේ පරණ ජීවිතය හරිම වෙනස්. හැමෝම මාව ආරක්ෂා කරා. මට හැම දේම ලැබුණා. මගේ මුළු ජීවිතයම සැලසුම් කරලා තිබ්බේ. අනිත් අය මං වෙනුවෙන් හිතපු නිසා, මට හිතන්න ඕන උනේ නැහැ. ඉපදුන දවසෙ ඉඳන් මගේ ජීවිතයට සැලැස්මක් තිබුණා. පහුගිය අවුරුද්ද වෙනකන්ම මට කනස්සල්ලු වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. ඊට පස්සෙත් අත්තම්මා ඉදිරිපත් වෙලා හැමදේම සැලසුම් කරන්න ගත්තා.
සිදුවෙච්ච දේ හරිම ඛේදනීයයි. තාත්තගෙ අනපේක්ෂිත මරණය මට මට තේරුනේ නැහැ. එයා කුරිරු ලෙස ඝාතනය කරපු බව දැනගත්තට පස්සේ, මම මගේ වේදනාව යටපත් කරගන්න, තාත්තව අමතක කරන්න, සති ගානක් එක දිගට නිදාගත්තා.
මම “තාත්තා” කියපු කෙනා ඇත්තටම මට ආගන්තුකයෙක්. එයා ඉඳලා හිටලා අපේ ගෙදර ආවත් අපේ දුක සැප බලන්න, වැඩිවෙලාවක්ම ගත කරේ අත්තම්මත් එක්ක. එයාගේ ප්‍රශ්නත්, යෝජනාත්, හැමදේම ආවේ අත්තම්මා හරහා. ඇයි කියලා මට හරියටම නොතේරුනාට, මට දැනුනා තාත්තා හිතා මතාම මගෙන් දුරස් වෙලා හිටියේ කියලා. මට ළං වෙන්න බැරි මොකද්දෝ බයක් එයා ළඟ තිබ්බා.
මගේ වේදනාවට ලොකුම හේතුව වුණේ මට දැනෙන්න ඕනේ මොකක්ද කියන එක මට නොතේරුන එක. එක දවසක් උදේ පාන්දර අත්තම්මා මාව ඇහැරවලා අපි ගෙදරින් යන්න ඕනේ කියලා කියනකොට මට ඒකෙ බරපතලකම තේරුනේ නැහැ. මම එයාගෙන් ඇහුව ඇයි අපි රෑට පැනලා යන්නෙ නැත්තෙ කියලා.එයා කිව්වා සැඟවෙන්න හොඳම විදිහ තමා පේන තැනක ඉන්න එක කියලා. ඒකෙ හරය මට තේරුනේ නෑ.මම ගමනාන්තය දක්වාම නිශ්ශබ්ද වුණා.
එදා තමයි මම ජීවිතේ පළවෙනි පාරට බස් එකයි ත්‍රීවිල් එකයි ගමන් ගත්තේ. මම හිටියේ නිදිමතෙන් තෝන්තුවෙලා. ඒ නිසා එයා මාව ත්‍රිරෝද රථයේ පිටුපස් ආසනයට තල්ලු කරහමත්, පසුව මගී බස් රථයේ පිටුපස සීට් එකේ ගුලිහුනහමත්, ප්‍රශ්න අහන්න ගියේ නැහැ. අන් අය මගේ ජීවිතය පාලනය කරන එකටත්, තීරණ ගන්න එකටත් පුරුදු වෙලා හිටපු හින්දා අත්තම්මගෙ හැසිරීම මට අමුතු බයක් ගෙනාවේ නැහැ. ඒ වෙලාවෙ වෙනසකට මට දැනුනේ අපේ සුඛෝපභෝගී කාර් එකේ පිටුපස් ආසනයේ යන්න නොලැබීමයි.
මම ඉඳගෙන හිටපු සීට් එකේ ඇඳි දෙක තදින්ම මිරිකා ගත්තේ,මේ මගේ පරණ ජීවිතේ
අන්තිම තත්පර ගානත්, අලුත් එකේ ආරම්භයත් කියන එක මතක් කරන ගමන්. එදා අපි මහ ගෙදර අතෑරලා, බොරැල්ලේ නිරෝෂා නැද්දගෙ ගෙදර ගිය වෙලාවෙ අත්තම්මා මගේ ළඟින් ඉඳගෙන ආදරෙන් ඔලුව අත ගෑවා. අද මම තනියම. අත්තම්මා මගේ ළඟ නැහැ.
මට එකපාරටම මහේෂ්ට කතා කරන්න හිතුනා. එයා පාරවපු මගේ හදවතේ තුවාලය තාම අලුත්. ඒත් මට තව පාරක් එයාගේ ගීතවත් කටහඬ අහන්න ආස හිතුනා. කම්මුල් දිගේ ගලා හැලෙන කඳුළු සඟවන්න මම හෙමිහිට ජනේලය පැත්තට හැරුණා.
පළමු පරිච්ඡේදය: ආරම්භයක් සඳහා අවසානයක්-1
මම හිටියේ කටුනායක ගුවන්තොටුපලේ. තම තමන්ගේ ගුවන් ගමන් සඳහා ලෑස්ති වෙන, උද්යෝගමත් මගීන්ගෙන් කවුන්ටර පිරිලා. තරුණ නිලධාරියෙක් මගේ ගුවන් පත්‍රිකා විමර්ශනය කරනකන් මම බලාගෙන හිටියා.වායු සමීකරණය කරපු ශාලාවක හිටියත් මගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා. කිසිම රිද්මයක් නැතුව කකුලකුත් පොළොවට තට්ටු කරන ගමන්, මගේ කරේ තිබ්බ චේන් එකත් එක්ක සෙල්ලම් කරේ, ඒ නිලධාරියාගේ සානුකම්පිත බැල්ම මගහරින්න. මම වටපිට බැලුවේ බයෙන් — කවුරු හරි මගේ මල්ල බෙල්ට් එකෙන් ඇදලා ගයිද, එහෙමත් නැත්නම් පාස්පෝට් එක උදුරා ගයිද කියලා. යන්තම් ටිකට් එක හදලා ඉවර බව දැනගත්තාම තමයි මගේ හිතට පුංචි සහනයක් දැනුණේ.
“මෙන්න ඔබගේ බෝඩිං පාස් දෙක, මැඩම්. මෙය කොළඹ සිට සිංගප්පූරුව දක්වා යන ගුවන් ගමන සඳහා. ඔබට window seat, 33A වෙන් කරලා තියෙන්නෙ. මෙය සිංගප්පූරුව සිට...”
ඉක්මනට ඔලුව වනලා, නිලධාරියා එයාගේ උපදෙස් මාලාව ඉවර කරන්නත් කලින්, මම පාස්පෝට් එකයි බෝඩිං පාස් දෙකයි උදුරලා ගත්තා.
මගේ සූස් කේස් එකට ඔබපු අතිරේක කිලෝ පහට ගෙවන්න නොකියපු එක මට පුදුමයක් වගේම සහනයක් වුණා. වැඩිපුර බරෙන් විශාල කොටසක්ම වෙන් වුනේ මගේ ජීවිතයට ගොඩක් බැඳිලා තිබ්බ සිහිවටනවලට. ආපහු එන එක ගැන විශ්වාසයක් නැතිකොට, මගේ අවුරුදු විසි එකක ජීවිතේ වැදගත් දේවල් කොහොම දාලා යන්නද කියලා මට තේරුනේ නැහැ.
පියල් මාමා කලින් එයාපෝට් එකට යමු කියලා කියපු එක හොඳයි. “Counter ඇරපු ගමන් checking කරන්න ගියහම පොඩ්ඩක් බර වැඩි උනත් ඒගොල්ලෝ ඉඩ දෙනවා,” එයා කන්නාඩි කුට්ටම අයින් කරලා මගේ මුහුණ දිහා හොඳට බලන ගමන් කිව්වා. “ඒක මේ ගුවන් යානාවෙ ගෙනියන බර සමතුලිතය කරන්න කරන දෙයක්,” කෙටි නිශ්ශබ්දතාවයකට පස්සේ පියල් මාමා ජාත්‍යන්තර ගමන් කරුවන්ගේ ජාලයෙන් හොයාගත්ත දැනුම බෙදාගත්තේ හරියට පලපුරුදු වවිදේශ සංචාරයකු වගේ.
ඒක මගේ පලවෙනි විදෙස් ගමන නිසා, පියල් මාමා මට ඉදිරියට තිබ්බ පැය විසි හතරට සූදානම් වෙන්න ඕනෙ විදිහ හොයලා දෙන්නෙ සෑහෙන මහන්සියක් ගත්තා.
"සුභ ගමනක් වේවා, මැඩම්," හැමෝමත් එක්ක බෙදා ගන්න යාන්ත්‍රික සිනාවෙන් ගුවන් සේවා නිලධාරියා මට සමුදුන්නා.
කතා කරොත් මගේ කටහඬ වෙව්ලයි කියන බයටම මම හෙමිහිට ඔලුව වැනුවා. පාස්පෝට් එකයි බෝඩිං පාස් එකයි මගේ හෑන්ඩ් බෑග් එකට ඔබාගෙන, මම hand luggage එක ඇදගෙන කවුන්ටර් පේළියේ කෙළවරට ගියේ පියල් මාමා මගේ මතකයට ඔබ්බවා ගන්න කියපු සවිස්තරාත්මක සැලැස්මේ ඊළඟ පියවර වුණ විගමන දෙපාර්තමේන්තුව වෙතට. ආරක්ෂක නිලධාරීන් ඉන්න තැන පහු කරලා ගිය ගමන්ම වීදුරු බිත්තියේ එහා පැත්තේ හිටපු අත්තම්මව ආයේ පේන්නේ නැති වෙනවා කියන එක දැනුනහම මගේ හුස්ම හිර වුණා.
මම ආපහු හැරිලා අඩක් උස වීදුරු බිත්තියට එහා පැත්තෙ හිටපු මිනිසුන් අතරින් මට සුපුරුදු මුහුණු ටික හෙව්වා. වීදුරු බිත්තියේ පිටිපස්සේ පෙළගැහුණු මිනිස්සුන්ගෙ මුහුණු විවිධාකාර හැඟීම් වලින් පිරිලා — එයාල සමුදෙන කෙනා එක්ක කියන සම්බන්ධය අනුව: ආදරයෙන්, දුකෙන්, සතුටෙන්, බලාපොරොත්තුවෙන්, කනස්සල්ලෙන්, ඊර්ෂ්‍යාවෙන්, එහෙමත් නැත්නම් කලබලයෙන්.
ඒ අතරින් මම වීදුරු බිත්තියට හේතුවෙලා හිටපු අත්තම්මගෙ කෙට්ටු රාමුවයි, පියල් මාමගෙ නෝන, නිරෝෂා නැන්දයි හොයා ගත්තා. ඔවුන් පිටිපස්සෙ පියල් මාමාගේ හිස ඉහළ පහළ ගියා. අප අතර තිබ්බා දුරස්කම අතරිනුත් මට එයාලගේ මුහුණුවල තිබුණු බය පෙනුනා.
අත්තම්මා සාරි පොටින් කඳුළු පිහදානවා. අපි විගමන ශාලාවට ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳන්ම එයා අඬනවා. හුස්ම ගන්න බැරි තරමටම මගේ ඇස් දෙකෙන් කඳුළු කඩාගෙන වැටුණා. කලිසම් සාක්කුවෙන් ඇදගත්ත ලේන්සුව නහය පිහ ගන්න බැරි ගානටම තෙතයි. මට හිතුණා අත්තම්මා ළඟට දුවල ගිහිල්ල තව එක පාරක් එයාව වැළඳ ගන්න. මගේ හිස එයාගෙ බෙල්ලෙ ඔබාගෙන එයාට කියලා හිස අත ගාගන්න. එයාගේ මූණ ඉඹලා එයා මට කොච්චර ආදරෙද කියලා ආයෙත් අහන්න.
මම දිග හුස්මක් පිට කරේ එක මට කරන්න බැරි දෙයක් කියලා තේරුම් අරගෙන. මගේ මේ පලායෑම තමයි අපි හැමෝගෙම රැකවරණයට තියන එකම පිළියම. ඒක අපි හැමෝම දැනගෙන හිටියා. අපි හැමෝම ජීවත් වෙන්න නම්, අත්තම්මව දාලා මට යන්න වෙනවා. අපි දෙන්නගේම හදවත් කෑලි වලට කැඩිලා ගියත්, දරාගන්න බැරි දුකකින් පිරුණත්, මේ ගමන නතර කරන්න බැහැ.
ඒත් අත්තම්මව තව එකම එක පාරක්වත් වැළඳ ගන්නෙ නැතුව යන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. මට ඕන උනේ මගේ පෙනහළු එයාගේ ඕඩි කොලෝන් සුවඳින්, ටැල්කම් පෞඩර් සුවඳින් පුරෝගෙන, එයාගෙන් බිඳක් මගෙත් එක්ක ගෙනියන. පියල් මාමා නොනවත්වාම මට යන්න කියලා අතින් ඉඟි කරද්දිත්, මම දැක්කෙ නෑ වගේ හිටියේ එකයි.
මම කොච්චර වෙලා එහෙම බලාගෙන හිටියද කියල මට දැනුනේ නැහැ. අන්තිමේදී කවුරුහරි මට යන්න නොදී මාව අල්ලගයි කියන බයයි මාව දැහැනෙන් මිදෙව්වෙ. දුර්වල සිනහවකින් එයාලට සමු දීල, බොඳ වෙච්ච ඇස් වලට එයාලගේ මූණු නොපෙනී යද්දී, රළු පෙනුමැති නිලධාරී පිරිසක් සිටින විගමන කවුන්ටරය දෙසට මම පිය මැන්නා